to-add

ප්‍රජාතන්ත්‍රවාදය කන්නද ?




- ගාමිණී වියන්ගොඩ -


“දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන්නැයි ඉල්ලා සිටීම පහසු නැත.” 

රෆායල් කල්දේරා (වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදයේ සමාරම්භක හිටපු ජනාධිපති)


 2019 නොවැම්බරයේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පසුපස, රාජපක්ෂවාදීන් නොවන විශාල සුළුතරයක් සිටියේ යැයි මේ ලියුම්කරු විශ්වාස කරයි. ඒ පිරිස, ‘යහපාලනය’ ගැන කලකිරුණු සහ උරණ වූ ජනතාවකි. අනිත් අතට, ගිය වසරේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළ මුත්, මේ වසරේ අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගෙන්, සජිත් ප්‍රේමදාසගෙන් සහ අනුර කුමාර දිසානායකගෙන් හෝ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයෙන්මත් පළිගැනීම සඳහා ඡන්ද පොළට පැමිණීමෙන් වැළකී සිටි තවත් ලක්ෂ 20 කට අධික පුරවැසි සංඛ්‍යාවක්ද සිටිති. (ඒ, කවදත් කොහෙත්ම ඡන්දය පාවිච්චි නොකරන තවත් ලක්ෂ ගණනකට අමතරව ය). ඒ නිසා, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන කතා කිරීමේදී ඉතා වැදගත් දත්තමය කාරණයක් අප සිහියේ තබාගත යුතුව තිබේ. එනම්, ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙනෙන 69 ලක්ෂයක් සහ ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් රාජපක්ෂලාට ලබා දීමට දායක වූ තවත් 20 ලක්ෂයක අක්‍රීය පුරවැසි ජනතාවක් මේ සමීකරණය තුළ සිටින බවයි. මේ ලියවිල්ල, විශේෂයෙන් ඒ දෙපිරිස සඳහා ය. 

මීට දශක හතරකට පමණ පෙර වරක් ජේ. ආර්. ජයවර්ධන කී දෙයක් මෙහිදී මතක් කරගැනීම වටී. මගේ මතකයේ හැටියට, සාහිත්‍ය කලා ආදිය ගැන කතා කරමින් ඔහු ‘සාහිත්‍යය කන්නද?’ හෝ ඊට සමාන අරුත් දනවන ප්‍රශ්නයක් අසා තිබුණි. මේ ගැන අදටත් බොහෝ දෙනා ඔහුට ගරහති. ඒ පිරිසට මා අයත් නැත. මන්ද යත්, ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රශ්නය නිවැරදි සහ ලංකාවට අදාළ යැයි මා විශ්වාස කරන බැවිනි. සාහිත්‍යය ‘භුක්ති නොවිඳින’ රටකට සාහිත්‍යයෙන් වැඩක් නැත. ආහාරය ජීවිතයේ අවශ්‍යතාවක් වන මට්ටමින්ම නොවුණත්, යම් සමාජයක් සාහිත්‍යය (නවකතා, කෙටිකතා, කවිය), නාට්‍ය සහ සිනමාව ආදී කලාවන් පිළිබඳ ‘කුසගින්නක්’ නොදැනෙන ජාතියකින් සමන්විත වන්නේ නම්, එවැනි රටකට සාහිත්‍ය කලාදිය, පත අට එකට සිඳ පෙව්වත් වැඩක් නැත. ඒ නිසා, ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රශ්නය මා යොදාගන්නේ ඔහුව ප්‍රශ්න කිරීමට නොව, අපවම ප්‍රශ්න කරගැනීමටයි.

ප්‍රජාතන්ත්‍රවාදය කන්නද? යන ප්‍රශ්නය මෙහිදී මතු කෙරෙන්නේ ඒ අර්ථයෙනි.

අප ප්‍රජාතන්ත්‍රවාදය අවබෝධ කරගන්නේ ප්‍රාථමික අවශ්‍යතා ඇසුරිනි. දරුවන්ට ‘ජාතික’ පාසල් තිබීම, සියල්ලන්ට ආණ්ඩුවේ රක්ෂා ලැබීම, ගොවියන්ට සහනාධාර ලැබීම සහ දුගී සමාජ කොටස්වලට සමෘද්ධිය සැපයීම වැනි බොහෝ දේවල්වලින් ඒ ලැයිස්තුව සමන්විත වෙයි. මේවා සාධනය කරගැනීම සඳහා වරින්වර දේශපාලඥයන් කෙරෙහි විශ්වාසය තබා ගැනීමට සිද්ධ වෙයි. එනම්, මැතිවරණ අවශ්‍ය කෙරේ. මැතිවරණ ඇති තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙතියි, ඒ අනුව, හුදී ජනයා විශ්වාස කරති. මේ කියන සමාජ මානසිකත්වය විවේචනයට කාරණයක් වශයෙන් මා ඉදිරිපත් කරන්නේ, ජනතාවකගේ භෞතික අවශ්‍යතා සපුරාලීම ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යයක් නොවන්නේය යන අදහසකින් නොව, ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉන් එහාට විහිදෙන ශිෂ්ටාචාරමය කාරණාවක් බව, නූතන සමාජයක මිනිසුන් අමතක නොකළ යුතුව ඇති බව අවධාරණය කිරීමටයි.     

‘සීතල යුද්ධය’ නමින් හැඳින්වෙන වකවානුවක් තිබුණි. එය 1917 සිට 1990 දක්වා වූ කාල පරාසයකි. තවත් විදිහකින් කිවහොත්, ලෝකය සමාජවාදී සහ ධනවාදී යන කඳවුරු දෙකකට බෙදී පැවති කාලයකි. මේ ලෝක දෙක, එකිනෙකාට එරෙහිව, සෘජු ආයුධ සන්නද්ධ සටන්බිමක නොව, වක්‍ර නිරායුධ සටන්බිමක ගෙන ගිය, බොහෝවිට මතවාදීමය වූ අරගලය, ‘සීතල යුද්ධය’ නමින් හැඳින්වෙයි.

මේ කාලයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බොහොමයක් බිඳවැටුණි. ඇතැම් තැනක එසේ කෙරුණේ සමාජවාදයේ නාමයෙනි. තවත් තැනක එසේ කෙරුණේ ධනවාදයේ නාමයෙනි. ඒ හැම අවස්ථාවකම එවැනි බිඳවැටීම් සිදු වුණේ, කාටත් පෙනෙන සහ ලෝකයාගේ බලවත් කම්පාවට හේතුවන ආකාරයකිනි. ඒ තරමට ඒවා, ප්‍රදර්ශනාත්මක විය. ප්‍රකෝපකාරී විය. ලෝකයේ මුල් වරට මාක්ස්වාදී පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් මැතිවරණයක් හරහා බලයට පත්වුණේ චිලී රටේ ය. වර්ෂය 1970 ය. ඊට වසර තුනකට පසු, ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ තල්ලුවෙන්, මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පෙරලා දමා එහි ජනාධිපති වශයෙන් සිටි සැල්වදෝර් අයියන්දේව ඝාතනය කොට, පිනෝචේ නමැති හමුදා ඒකාධිපතියා බලයට පත්විය. එය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන දෙක එකට තබා ඇණගැසුණු අවස්ථාවක් විය.  

මේ කියන සීතල යුද්ධ කාලයේදී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කඩවැටීම්වලින් හතරෙන් තුනක් සිදු වුණේ හමුදා බලහත්කාරය තුළිනි. බ්‍රසීලය, ආර්ජන්ටීනය, පාකිස්තානය, තායිලන්තය, ග්‍රීසිය, තුර්කිය, උරුගුවේ සහ පේරු ආදී රටවල් රාශියක පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍ර මෙවැනි හමුදා කුමන්ත්‍රණවල නිර්දය ගොදුරු බවට පත්විය. 

එහෙත් අද ලෝකයේ බොහෝ තැන්වල ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙන්නේ එයාකාරයේ සද්දබද්ද දාගෙන නොවේ. ඇත්ත වශයෙන්ම, අද ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටම පවා හොරෙනි. තවත් විදිහකින් කිවහොත්, ප්‍රජාතන්ත්‍රවාදය නැති කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවමයි. මැතිවරණ, පාර්ලිමේන්තු, අධිකරණ සහ ජනමාධ්‍ය ආදී ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම්, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ නූතන සුරුබුහුටි ක්‍රමෝපායයන් බවට පත්වෙමින් තිබේ. එවිට, ඊට එරෙහිව ‘තාර්කිකව’ පෙනී සිටීමේ හැකියාව කෙනෙකුගෙන් ටිකෙන් ටික බැහැර කෙරේ. 69 ලක්ෂයක් ජනතාව 20 වැනි සංශෝධනය වෙනුවෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කර ඇතැයි, වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රීන් පිරිසක් කිවහොත්, එය ජනතාවගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ ආධ්‍යාශයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් පාලකයන්ට ලැබෙන්නේය.

මේ කොලමේ අද ප්‍රස්තුතය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මරණකරු නොදැනුවත්ව හෝ නොසැලකිලිමත්ව ඔහුගේ (ප්‍රජාතන්ත්‍රවාදයේ) මරණය සිදු විය හැකිය යන කාරණයයි. 

ඉහතින් කී සීතල යුද්ධ කාලය අවසන් වීමෙන් පසුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට, ඊට කලින් නොතිබුණු ආකාරයෙන්, ශක්තිමත්ව මුල් ඇදීමේ අවසරයක් සැපයුණි. චිලී රටේ පිනෝචේ වැනි කෙනෙකු ගැන අද වැනි කාලයක සිතාගැනීම අසීරු ය. එහෙත් පිනෝචේට වඩා භයානක පාලකයන් පෝෂණය වීමේ අවකාශය මේ යුගය තුළ, ඇතැම් කොන්දේසි යටතේ, විවර විය හැකිය. එසේ වන්නේ, ජනතාවක් තමන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රීය අයිතිය පිළිබඳ කාරණය අවබෝධ කරගන්නා සාවද්‍ය ආකාරය හේතුවෙනි. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු, යම්තාක් දුරකට ප්‍රවර්ධනය කළ හැකි දෙයක් වූවත්, පිටස්තරින් පෙවිය හැකි දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්වකීය පෝෂණය සඳහා අවශ්‍ය කරන සහ ඉල්ලා සිටින ජනතාවක් සිටිය යුතුය. ඒ සඳහා, යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රීය චින්තනයක් අවශ්‍ය කෙරේ. ප්‍රජාතන්ත්‍රීය චින්තනය යනු, සාපේක්ෂතාවාදය වැනි මොළය කලඹන දෙයක් නොවේ. සාමාන්‍ය මට්ටමේ විචාරවත් භාවය පමණක් ඊට සෑහේ. නිදර්ශනාත්මකව එය පැහැදිලි කරතොත් මෙසේ ය: දෙකට දෙකක් එකතු කළ විට හතර යැයි ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්නා කෙනෙකුට, හතරෙන් දෙකක් අඩු කළ විට දෙක යැයි ඉගෙනගැනීමට තවත් ගුරුවරයකු අවශ්‍ය කළ යුතු නැත. සිංහල-බෞද්ධකම උත්තම වශයෙන් ගන්නා කෙනෙකු අනිවාර්යයෙන්ම ඇමරිකානු-යුරෝපීය බටහිරකම ඊට වඩා පහත් වශයෙන් ගත යුතුය. එවන් කෙනෙකුට, ඇමරිකාවේ පුරවැසිකම ලබාගැනීම නිසා ලාංකිකත්වය ද්විත්ව වශයෙන් ලබාගත් තැනැත්තෙකු තමන්ගේ රාජ්‍ය නායකත්වයට පත්වීම අනිවාර්ය අවුලක් විය යුතුමය. එසේ තිබියදීත් එය අවුලක් කර නොගන්නා තැනැත්තා, දෙකට දෙකක් එකතු කළ විට හතර යැයි ඉගෙනගෙන සිටියත්, හතරෙන් දෙකක් අඩු කළ විට දෙක යැයි ඉගෙනීමෙහි අසමත් නරුමයෙකි. තවදුරටත් දක්වතොත්: රටක සංවර්ධනය සඳහා විනය කියා දෙයක් අත්‍යවශ්‍ය යැයි ගන්නා කෙනෙකු හෝ දූෂණය සපුරා පිටුදැකිය යුතු යැයි අදහන කෙනෙකු, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහජන මුදල් වියදම් කරන ආකාරය පරීක්ෂාවට ලක්කළ යුතු නැතැයි සිතීම ඔලමොට්ටල ය. තවදුරටත් දක්වතොත්: තමන්ව පාලනය කිරීම සඳහා මැතිවරණ දෙකක් (ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය) අවශ්‍ය යැයි සිතන කෙනෙකු, ජනාධිපතිවරයකුට හිතුමතේට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තිබිය යුතු යැයි සිතීම සාපරාධී ය. දැන් පොඞ්ඩක් නතර වී සිතන්න: පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන්නේ, සියයට 52.25 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙනි. පසුගිය මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 225 ක් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සියයට 96.57 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබීමෙනි. දැන්, ඒ සියයට 96.57 පාර්ලිමේන්තුවට තේරී පත්වී ආ දවසට පසුවදාම ගෙදර යැවීමේ බලය, ඉහතින් කී ඡන්ද 52.25 ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටින ජනාධිපතිවරයාට පැවරෙන්නේය. ඉතිං, එවන් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනතාවක් වශයෙන් තමන් අනවශ්‍ය සේ මහන්සි නොවී, ජනාධිපතිවරයාටම එය පත්කර ගැනීමටත් බාර නොදිය යුත්තේ ඇයි? තවදුරටත් දක්වතොත්: ලංකාව පුංචි දිවයිනක් යැයි සිතන, දැනටමත් පළාත් සභා ක්‍රමය අනවශ්‍ය වියදමක් (සුදු අලියෙකු) යැයි හතර අතේ දෙස් තියන කෙනෙකු, කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව සියයක් වුවත් කම් නැතැයි බාරගැනීම අත්‍යන්තයෙන් මුග්ධ ය. තවදුරටත් දක්වතොත්: රාජ්‍ය සේවය, පොලීසිය සහ අධිකරණය ස්වාධීන විය යුතු යැයි අදහන කෙනෙකු, ඒ අංශවලට පුද්ගලයන් පත්කිරීම සහ ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ තනි අතට පත්කිරීම ප්‍රශ්නයක් නැතැයි සිතතොත්, එය පිළිකුල් සහගත ය.   

මේ සියල්ල, එනම් ද්විත්ව පුරවැසියෙකුට රාජ්‍යත්වයට පත්වීමේ හැකියාව, ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූල්‍ය කටයුතු විගණනයෙන් ඉවත් කිරීම, පාර්ලිමේන්තුව හිතුමතේට විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීම සහ කැබිනට් මණ්ඩලය රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයකින් වැඩි කරගැනීමේ බලය ජනාධිපතිවරයාට පැවරීම ආදී තවත් දේවල්, හෙට අනිද්දා නීතිගත වීමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත ය. ඒ සියල්ල එකට ගත් විට අපට ලැබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපාර්ශ්වයයි. එහෙත් ඒ සියල්ල දැන් සිදුවීමට යන්නේ ‘නීත්‍යානුකූල’ සහ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ ආකාරයකිනි. 

ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලෝකය තුළ එක රැයකින් ඝාතනය නොවේ. බොහෝවිට සිදුවන්නේ, සියදිවි නසාගැනීමකි. පුද්ගලයෙකු සියදිවි නසාගන්නේ, ජීවිතය කන්නදැයි තමාගෙන්ම අසාගන්නා මොහොතකට පැමිණ අවස්ථාවක ය. එවැන්නෙකුට ජීවිතයේ අරුතක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරීමත්, එය වැරදියට වටහාගැනීමත්, ඊට සමාන ය.     

1973 දී චිලී රටේ ජනතාවට නිදහස් තේරීමක් නොතිබුණි. ඔවුන්ට පිනෝචේ කෙනෙකු එදා අවශ්‍ය විණිද නැත්ද යන්න එකහෙලා දැනගැනීමේ ක්‍රමයක් අදටත් නැත. මන්ද යත්, 1973 සැප්තැම්බරයේ යම් දවසක සන්තියාගේ අගනුවරට උඩින් ජෙට් යානා පියාසර කොට බෝම්බ හෙලා එම ජනතාවගේ තේරීම ඔවුන්ගෙන් පැහැරගත් බැවිනි. එහෙත් එම ප්‍රතිඵලයම, ලංකාවේ 69 ලක්ෂයක ජනතාවකගේ අනුමැතියෙන් මේ මොහොත වන විට, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ‘ප්‍රජාතන්ත්‍රවාදීව’ ඉෂ්ට සිද්ධ කරගැනෙමින් තිබේ.      

ඒ 69 ලක්ෂයක ජනතාව පසුගිය වසරේ නොවැම්බරයේදී සහ මේ වසරේ අගෝස්තුවේදී අපෙන් ඇසූ ප්‍රශ්නය මෙයයි: “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?” 



Post a Comment

0 Comments