to-add

ප්‍රජාතන්ත්‍රවාදය හිසරදයක්ද ?



“ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය” - ජුලියස් සීසර්



- ගාමිණී වියන්ගොඩ -


චක්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා අරභයා නිකුත් කෙරෙන ලිඛිත නියමයන් ය. රාජ්‍ය නිලධාරීන් මේ චක්‍රලේඛ අනුව රාජකාරී කරන බවට නීතියෙන් බැඳී සිටී. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපතිවරයෙකු රාජ්‍ය මුදල් අවභාවිත කොට මැතිවරණයක් එල්ල කරගනිමින් සිල්රෙදි බෙදාදීම ගැන වැරදිකරුවන් වී හිරේට නියම වුණේ, පරිපාලන ක්‍රමවේද අනුගමනය නොකොට ක්‍රියා කිරීම නිසා ය. එසේ තිබියදී, එක් රාජ්‍ය නිලධාරියෙකු අමතමින් පසුගිය දා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, තමාගේ කටවචනය චක්‍රලේඛයක් සේ භාරගත යුතු බවත් ය. 

ජුලියස් සීසර් ඉහත කියා ඇති පරිදි, ගෝඨාභය රාජපක්ෂට බලය අල්ලාගැනීමේ ප්‍රශ්නයක් නැත. දැනටමත්, 69 ලක්ෂයක් ජනතාවගෙන් ඔහු එම බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගෙන තිබේ. එහෙත් නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉතා වැදගත් කාරණයක් මීට අදාළ වෙයි. එනම්, බලය ලබාගැනීමෙන් පසුව පවා කෙනෙකුට නොලැබී යන බලයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ඉතිරි වන්නේය යන කාරණයයි. ජනාධිපති ගෝඨාභයගේ චක්‍රලේඛ කතාවෙන් කියැවෙන්නේ ඒ ඉතිරි බලතල සියල්ලත් තමන් බලාපොරොත්තු වන බවයි. චක්‍රලේඛ යනු කවරක්ද, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සහ රාජ්‍ය පරිපාලනයට ඒවා කොපමණ වැදගත්ද යන්න ගැන ගෝඨාභය රාජපක්ෂ නොදන්නවා නොවේ. දීර්ඝ කාලයක් ඇමරිකාවේ ජීවත්ව ඇති පුද්ගලයෙකු වශයෙන් එය ඔහුට කිසිවෙකු කියා දිය යුතු නැත. එහෙත්, තමාට අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ප්‍රසිද්ධියේ කියාපෑමට තමා තුළ කිසි බියක් නැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්නුම් කෙළේ. භයානක කාරණය එයයි. 

පික්පොකට්කරුවෙකු ගැන ඔබ පරිස්සම් විය යුතුය. ඔබේ පරිස්සම ප්‍රමාණවත් නොවුණොත්, වැඩිම වුණොත් සිදුවන්නේ ඔබේ සාක්කුවේ ඇති දෙයක් ඔබට අහිමි වීම පමණි. එහෙත් කොල්ලකරුවෙකු එසේ නොවේ. ඔහු ඔබේ දෙය පැහැරගන්නේ, ඔබේ ඇස් ඉදිරියේම, සහ විටෙක ඔබට ශාරීරික හානි පවා සිදු කරමින්, බලහත්කාරය පාවිච්චි කරමිනි. තමා කරන ක්‍රියාව ගැන පික්පොකට්කාරයා තුළ ඇති බිය, කොල්ලකරුවා තුළ නැත. ඒ නිසා පික්පොකට්කාරයෙකුට වඩා කොල්ලකරුවා භයානක ය.     

ජනාධිපතිවරයාගේ කතාව පසුපස ඇති කතාව තේරුම් ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණාමය සැකෙවින් සහ සරලව සලකා බැලීම යෙහෙකි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය යනු, බලය සපයන්නා සහ බලය ලබන්නා අතර තුලනයක් ඇති කරගැනීම සඳහා කෙරුණු දීර්ඝ කේවල් කිරීමක ඉතිහාසයකි.

බලය සපයන්නා යනු, ඡන්දදායක පුරවැසියා ය. බලය ලබන්නා යනු, ඒ පුරවැසියාගේ ඡන්දයෙන් බලයට පත්වන පාලකයා ය. මේ දෙපාර්ශ්වය කටයුතු කරන්නේ අන්‍යොන්‍ය විශ්වාසයක් මත ය. මේ විශ්වාසය ඕනෑම මොහොතක අයාලේ යාමට පුළුවන. එසේ වන්නේ, එක්කෝ ඡන්දාදායකයාගේ ‘පුරවැසිභාවයේ’ ස්වභාවය හේතුවෙනි. නැතහොත්, පාලකයාගේ අධිකාරීවාදී ස්වභාවය හේතුවෙනි.

‘පුරවැසිභාවයේ’ ස්වභාවය යනු කුමක්ද? ඡන්දදායකයා තමන්ගේ අවශ්‍යතා, අයිතීන් සහ වගකීම් ගැන කොතෙක් දුරට දැනුවත්ද යන්නත්, පාලකයාව තමන් විශ්වාස කළ යුත්තේ හෝ නොකළ යුත්තේ කුමන තත්වයන් යටතේද යන්නත් පිළිබඳ දැනුමක් ඡන්දදායකයාට තිබිය යුතුය. ඡන්ද ක්‍රමය ඇරැඹුණු දා සිට, ඡන්දදායකයා නොමඟ යාමට හෝ නොමඟ යැවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව, ඡන්ද ක්‍රමය ඇරැඹුණු දා සිට පැරැන්නන් අවබෝධ කරගෙන තිබුණි. ඒ නිසාම, ඡන්දදායකයා බලයේ උල්පත වශයෙන් දිගටම තබාගන්නා අතරේම, ඒ ඡන්දදායකයා මොන හේතුවක් නිසා හෝ රැවටීමට හෝ ඇන්දවීමකට ලක්වීමේ ඉඩකඩ ගැනත්, එහි ප්‍රතිවිපාක අවම කරගැනීම ගැනත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ නිර්මාතෘවරුන් සිතා තිබේ. 

දෙවැනුව, පාලකයෙකුගේ ස්වභාවය පිළිබඳ කාරණයත් පැරැන්නෝ සැලකිල්ලට ගත්හ. බලය යන කාරණය තුළ බරපතල ‘ඇලීමක්’ සහ ‘තෘෂ්ණාවක්’ ඇති බව එහිදී නිරීක්ෂණය වුණි. එවැනි පාලකයන්, අර කී ඡන්දදායකයාගෙන් බලය ලබාගැනීමේදී (මැතිවරණයේදී) මෙන්ම, ඉන්පසු ඒ බලය අභ්‍යාස කිරීමේදීත්, අනපේක්ෂිත ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රමිතීන් වෙතින් විතැන් වීමට ඉඩ ඇති බව නිරීක්ෂණය කෙරුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ චක්‍රලේක පිළිබඳ කතාව ඊට දිය හැකි නූතනම උදාහරණයයි.   

මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා පැරැන්නන් මුලින්ම කෙළේ, රාජ්‍ය බලය යන කාරණය බෙදා වෙන් කිරීමයි. එනම්, එක පුද්ගලයෙකුට හෝ එක ආයතනයකට පමණක් රාජ්‍ය බලය පැවරීම සිදු නොවන ආකාරයේ පාලන පද්ධතියක් ගොඩනැඟීමයි. ඒ අනුව, විධායකය (ජනාධිපති), ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරණය යනුවෙන් ආයතනික පාර්ශ්ව තුනක් අතරේ බලය බෙදාහැරුණි. මේවා අප දහස් වාරයක් අසා තිබේ, කියවා තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ පීලිපැනීම්, අඩු මට්ටමින් හෝ වැඩි මට්ටමින්, නිතර නැතත් ඉඳහිට හෝ, තවමත් සිදුවෙයි. 

මේ ප්‍රශ්නය, එනම් පාලකයා සහ පාලිතයා අතර ඇති විය හැකි විශ්වාසයේ බිඳවැටීම, වඩාත් තීව්‍ර වුණේ නූතන යුගයේ විධායක ජනාධිපති ක්‍රමය ඇති වීමත් සමගිනි. හේතුව, පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවට තනි පුද්ගලයෙකු බලවත් වීමේ වැඩි ඉඩකඩක් සැපයෙන්නේ එවැනි ක්‍රමයක් තුළින් බැවිනි. ඊට කලින් තිබූ පුරාණ ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයන් තුළ ඒ හා සමාන පුද්ගල බලයක් ගොඩනැඟුණු අවස්ථාවලදී, විවිධ ප්‍රතිකර්ම අත්හදාබලා ඇත.

උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තු පූර්වයේදී රෝමයේ පැවති පාලන තන්ත්‍රය ගත හැකිය. එහිදී, එක පුද්ගලයෙකු අතේ බලය කේන්ද්‍රගත වීම වැළැක්වීම සඳහා, පුද්ගලයන් දෙන්නෙකු ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ලදි. මොවුන් හැඳින්වුණේ ‘කොන්සල්’ යන නාමයෙනි. එදා පැවති වඩාත් බලගතු තානාන්තරය වුණේ එයයි. මේ ආකාරයෙන් එක් අයෙකු වෙනුවට දෙදෙනෙකු පත්කරගත්තත්, බලය අපයෝජනය වීමේ අවදානම සහමුලින් පහවීමේ ඉඩක් නැති නිසා, රෝමවරු ඒ ක්‍රමය තවත් ඉදිරියට ගෙන යමින්, එසේ පත්කරගන්නා පුද්ගලයන් දෙන්නාගේ නිල කාලය අවුරුද්දකට සීමා කළහ. කෙසේ වෙතත්, එයද ප්‍රමාණවත් නොවුණි. ඒ නිසා, රාජ්‍යයේ තීරණාත්මක බලතල, මාසයෙන් මාසයට මේ දෙන්නා අතරේ මාරු කිරීමේ ක්‍රමයකටත් මාරු විය. එපමණක් නොව, ඊට සමගාමීව, රෝමානු හමුදාවේ එදා පැවති සේනාංක හතරෙන් දෙකක් පමණක් එක්කෙනෙකුට ලැබෙන සේ බෙදා වෙනු කෙරුණි. 

එහෙත් මේ ක්‍රමය ප්‍රායෝගික නොවුණි. යම් සටනකට සේනාංක හතරම අවශ්‍ය වූ විටක ප්‍රශ්නයක් මතුවන බැවිනි. ‘කැන්නා’ සටන එවැන්නකි. දෙදෙනා අතරින් අදක්ෂයා හමුදා බලය හොබවන මාසය සැලකිල්ලට ගනිමින් සතුරු පාර්ශ්වය ‘කැන්නා’ සටන දියත් කෙළේය. රෝමානු හමුදාව එම සටනින් පරාජය විය. එයින් පාඩමක් උගත් රෝමවරු, අර්බුදකාරී අවස්ථාවකදී ‘ඒකාධිපතියෙකු’ පත්කරගැනීමේ තීරණයට ආහ. එහෙත් ඒ එක කොන්දේසියක් යටතේ ය. එනම්, අර්බුදය අවසන් වූ සැණින් එම පුද්ගලයා බලයෙන් ඉවත් කිරීමේ කොන්දේසියයි. යම් කාලයක් එය සාර්ථක විය. (මතක තියාගන්න: මේ කියන කාලය නිතර යුද්ධ හෝ ආක්‍රමණ පැවති කාලයකි). එහෙත්, බලයට තදින් ඇලුම් කරන පුද්ගලයෙකු එක්තරා අවස්ථාවකදී මේ තනතුරට පත්වීමත් සමගම, එතෙක් ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙන ගිය සියලු ප්‍රයත්නයන් ගඟට කැපූ ඉණි ගානට වැටුණි. ඔහුගේ නම ජුලියස් සීසර් ය. වැඩි කල් නොගොස් ඔහු ඝාතනය විය. ඉන්පසු බලයට පත් අනිත් කොන්සල්වරුද, ‘ඒකාධිපති’ බලය දිගටම හෙබැවීමට පටන්ගත්හ. ඉතිං ජුලියස් සීසර් නිසා සිදුවුණේ, එතෙක් ජනරජයක් වශයෙන් පැවති රෝම රාජ්‍යය අවසන් වී, රෝම අධිරාජ්‍යයක් බිහිවීමයි.

ඊට සියවස් fදාළහකට පසු වෙනීසියේ ජනරජයත්, ‘විශ්වාසය තැබිය හැකි’ පාලකයෙකු පත්කරගැනීමේ ප්‍රශ්නයට මුහුණදුනි. එදා පැවති ක්‍රමය තුළ පාලකයා පත්කරගැනුණේ 100 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි. මේ 100 දෙනා පත්කරගැනුණේ ඉතා සංකීර්ණ ක්‍රමයකිනි. මුලින්ම, ඔවුන් අතරින් පළමු 30 දෙනා තෝරාගැනුණේ ලොතරැයියක් ඇදීමෙනි. ඒ 30 දෙනා අතරේ තවත් ලොතරැයියක් ඇදීමෙන් 9 දෙනෙකු තෝරාගැනුණි. මේ 9 දෙනාගේ ඡන්දයෙන් තවත් සාමාජිකයන් 40 දෙනෙකු තෝරාගැනුණි. ඒ 40 දෙනා අතරේ ලොතරැයියක් ඇදීමෙන් 12 දෙනෙකු තෝරාගැනුණි. ඒ 12 දෙනාගේ ඡන්දයෙන් තවත් සාමාජිකයන් 25 දෙනෙකු තෝරාගැනුණි. ඒ 25 දෙනා අතරේ ලොතරැයියකින් 9 දෙනෙකු තෝරාගැනුණි. මේ ආකාරයට වට දහයක් අවසානයේදී තේරීපත්වන 41 දෙනෙකු විසින් රාජ්‍ය නායකයාව තෝරා පත්කරගැනුණි.

රටක පාලකයෙකු තෝරා පත්කරගැනීම සඳහා මිනිස් ඉතිහාසයේ අනුගමනය කොට ඇති වඩාත් පැටලිලිකාරී සහ විකාරම ක්‍රමය එයයි. එසේ වුණේ ඇයි? හැමදාමත්, බලය පවරන්නා (ඡන්දදායකයා) සහ බලය ලබන්නා (පාලකයා) පිළිබඳ බරපතල සැකයක් තිබුණු බැවිනි. කෙසේ වෙතත්, එය මොන තරම් විකාරසහගත ක්‍රමයක් වූවද, අවුරුදු 500 ක් ඒ ක්‍රමය වෙනීසියේ රාජ්‍ය ක්‍රමය තුළ පැවතියේය. එය ඉවරයක් කර දැමුවේ, 1797 දී වෙනීසිය ආක්‍රමණය කොට යටපත් කළ ප්‍රංශ ආඥාපති නැපෝලියන් බොනපාට් ය.

දැන් අප සිටින්නේ එදා තිබුණු සමාජ තත්වයක නොවේ. එදාට වඩා ජනතාව අද බුද්ධිමත් යැයි සිතන නිසා, බලය පවරන්නාට (ඡන්දාදයකයාට), බලය ලබන්නා (පාලකයා) තෝරා පත්කරගැනීම සඳහා පූර්ණ නිදහස දී තිබේ. ඕනෑම නිදහසක් සමග, ඒ නිදහස පාවිච්චි කරන ආකාරය පිළිබඳ වගකීමක්ද තිබේ. මේ වගකීම අපේක්ෂිත මට්ටමින් ඉටු කෙරෙන්නේද යන ප්‍රශ්නය කිසි දවසක විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. 

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තුළ, නීතිය, අධිකරණය සහ පාර්ලිමේන්තුව වැනි ආයතන පද්ධතිය විශේෂයෙන් වැදගත් වන්නේ එබැවිනි. ඒවා දීර්ඝ ක්‍රියාවලීන් බව ඇත්ත. එහෙත්, ජනතාවගේ සහ රටේ යහපැවැත්ම සඳහා එවැනි යාන්ත්‍රණයන් අත්‍යාවශ්‍ය කෙරේ. චක්‍රලේඛ යනු යමක් කිරීම පමා කරන හෝ යමක් කිරීමට බාධා පමුණුවන දෙයක් යැයි සිතන නිසා, ඒවා නොතකා ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා කියන විට, එම ආකල්පයම තමාට සහ තම පවුලේ අයට විරුද්ධව පසුගිය කාලයේ විභාග වූ නඩු සම්බන්ධයෙන් ඔහු යොදා නොගත්තේ මන්දැයි තමාගෙන්ම අසාගත යුතුය. චක්‍රලේඛ වැනි මේ කියන සම්මත දේවල් නිසා සිදුවන පමාව, ඔවුන්ගේ නඩු සම්බන්ධයෙන් ඉතා අගේට ඔහු ඇතුළු අනිත් අය එදා භුක්ති වින්දෝය. ‘ඔය නීති ප්‍රශ්න පැත්තකින් දාලා මගේ නඩුව ඉක්මණින් ඉවරයක් කරන්න’ යැයි, කාර්යක්ෂමතාව තකා කිසි උසාවියකට විත් ඔහු හෝ බැසිල් රාජපක්ෂ හෝ එදා කිව්වේ නැත. ඒ වෙනුවට ඔවුන් කෙළේ විවිධ නීති තර්ක මතු කරමින් නඩු වාර, මාස හය හත ආදී වශයෙන් කල් දමා ගැනීමයි. ඔහු අද චක්‍රලේඛ සම්බන්ධයෙන් කියන කතාව, එදා ඔවුන්ගේ නඩුහබ විභාග වූ ආකාරය සම්බන්ධයෙනුත් කෙනෙකුට කිව හැකිව තිබුණි. 

කෙසේ වෙතත්, ඒ කියන අධිකරණ ක්‍රියාවලිය තුළ සේම, මේ කියන චක්‍රලේඛ ක්‍රමය තුළත් දෝෂසහගත තැන් තිබිය හැකි බව මේ ලියුම්කරු පිළිගනී. එහෙත් ඒවාට විසඳුම වන්නේ, තනි පුද්ගලයෙකුගේ කටවචනයක් ඒ වෙනුවට ආදේශ කිරීම නොවේ. එසේ කටවචනයෙන් කෙරෙන පාලනයක්, එක්කෝ රාජාණ්ඩුවක් විය යුතුය. නැත්නම් ඒකාධිපතිත්වයක් විය යුතුය. අවුරුදු 72 ක් ප්‍රංශයේ රජකම දැරූ 14 වැනි ලුවී, ‘රාජ්‍යය යනු මමයි’ කීවේය. එදා හැටියට එය බොරුවක් නොවේ. එබැවින් එදා කිසිවෙකු ඒ කතාවෙන් තිගැස්සෙන්නට ඇතැයි මම නොසිතමි. එහෙත් එතැන් පටන් අවුරුදු 400 කට කිට්ටු කාලයක් ගෙවී ඇති අද පවා කෙනෙකු එසේ කියයි නම්, එය සාහසික කතාවකි.   



Post a Comment

0 Comments