to-add

ලංකාවේ නූතන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ,සාමය හා සංවර්ධනය

 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහය යළි ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යව ඇති මේ මොහොත ඉතා වැදගත්ය. මන්දයත් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි යුද නිසා වැනසී ගිය දකුණු හා නැගෙනහිර ආසියානු රාජ්‍යයන් බොහොමයක් සාමය සමඟිය හා සංහිඳියාව ඔස්සේ සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියදී පසුපසට ගමන් කිරීම මෙරට වෙසෙන්නන්ට පමණක් නොව වර්ග භේදයකින් තොරව මෙරට ජන්ම භූමිය කරගත් සියලු දෙනාට බෙහෙවින් ලජ්ජාවට හේතුවන හෙයිනි.

නීතිඥ ජි.ඒ.සුනිල් ජයරත්න විසිනි    

මෙම ලිපිය රචනා කරන මොහොත වන විට එකසිය හැට දෙලක්ෂයක් වූ ලියා පදිංචි  කට ආසන්න ඡන්ද දායක පිරිස අතුරින් 69 ලකෂයකගේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් නව ජනාධිපති වරයෙක් පත් වී වසරකට ආසන්නව ඇති අතර 2020 අගෝස්තු  මහ මැතිවරණයේදී 68 ලක්ෂයකට අධික වූ  ඡන්ද සංඛාවක් ලබා ගෙන ජනාධිපතිට පක්ෂපාතී වූ පොදු ජන පෙරමුණු ආණ්ඩුවක් ආණ්ඩුකරණය කරමින් සිය වසක පමණ කාලයක් තුල ලෝක ප්‍රජාව මුහුණ දදෙන කොරෝනා වසංගතය ශීර්‍ ලංකාව තුල මැන්වින් පාලනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේද  පැසසුමට  ලක්ව සිටී. 

යහපාලනය පිළිබද බලාපොරොත්තු සුන් කල අගමැති රනිල් වික්‍රමසිංහට පවා  පාර්ලිමේන්තු දොර වසා දමමින් පරාජයට පත්  යූ.ඇන්.පි ය ඉක්ම වූ සමගි ජන බල වේගය පර්‍ර්‍ධාන විපක්ෂය බවට පත්ව ඇති අතර ඡන්දය භාවිතා නොකරන ලද දස ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින් සංඛ්‍යාවද සමග  ගත් විට අනූලක්ෂයකට ආසන්න ඡන්ද දායක  පිරිසක්  පවතින පාලන තන්ත්‍රයන් කෙරෙහි උනන්දුවක් නොමැතිව හෝ නොසතුටුව සිටිති.


කෙසේ වෙතත් මෙ ම ලිපියෙන් රචකයා උත්සාහ කරන්නේ පවත්නා බල දේශපාලන සුසමාදර්ශයෙන් ඔබ්බට ගොස් යහපත් රාජ්‍යක් තනාගන්නේ කෙසේද ? ඒ සදහා ඇති බාධාවන් සාමූහිකව අතික්‍රමණය කරන්නේ කෙසේදැයි නිර්දය ලෙස ජනතාවාදී දෘෂ්ඨි කෝණයෙන්  විමසා බැලීමටය.තවද නව සුසමාදර්ශයක් තනා ගැනීමේ මං පෙත් කවරේදැයි ඓතිහාසික කරුණු හා අත්දැකීම්  ඇසුරෙන් පක්ෂග්‍රාහීත්වයෙන් තොරව ශාස්තීර්‍යව විමසා බැලීමට  රචකයා උත්සාහ දරයි.

1978 ව්‍යවස්ථාව හා ජනාධිපති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය

ආර්ථික සංවර්ධනය උදෙසා ස්ථාවර ආණ්ඩු පිහිටුවීමේ අරමුණට මුවාවී එ.ජා.ප. ආණ්ඩුව විසින් බිහිකරගත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනයට බඳුන් කරන්නවුන්ගේ බරපතල විවේචනය වූයේ ගැහැණියෙක් මිනිසකු බවට පත් කිරීමට හැරෙන්නට තමාට අන් සියලු දෙයම කළ හැකියැයි පුරසාරම් කී ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ස්වකීය ධූරයෙන් පවරා තිබූ බලතල අවභාවිතා කළ ආකාරය, රාජ්‍යය තුල ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම බිදවැටීමටද, පන්ති පරතරය වැඩි කරමින් සමාජ අසාධාරණය හා අවනීතිය වැපිරීමටද, සාමය බිඳවැටීමටද, බරපතල  ලෙස මූලික වූ බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනඑනු ලැබූ 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, වෙනම රාජ්‍යයක් පිළිබද අදහස් වැපිරූ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අමිර්තලිංගම් නියෝජනය කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීන් විස්සකගේ පමණ මන්ත්‍රී ධූර අහිමි කිරීමට හේතු වූ අතර එය පසුකාලීනව ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ මතවාදය ත්‍රස්තවාදය දක්වා පෝෂණය වීමට රුකුළක් වූ බව බොහෝ විචාරකයන්ගේ මතය වේ. තවද, ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ඇතිවූ කළු ජූලිය හා යාපනය පුස්ථකාලය ගිනි තැබීම ත්‍රස්තවාදීන්ට උඩගෙඩිදීමක් බඳුවූ අතර එමඟින් සාමය හා සංහිඳියාව බිඳවැටී අනවරත සන්නද්ධ ගැටුම් වලට මුහුණදීම නිසා ජනයා අපේක්ෂා භංගත්වයට පත්විමද, ආර්ථික බිද වැටීමද ජාත්‍යන්තර ප්‍රතිරූපය කැලැල් වීමද සිදුවිය.

1983 ජනමත විචාරණයක් මඟින් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුවේ නිලකාලය දීර්ඝ කර ගැනීමට ස්වකීය බලතල උපයෝගී කරගත් ජේ.ආර්.ගේ ආදර්ශය එකී ව්‍යවස්ථාමය විධිවිධානයන්ට මුවා වූ පසුකාලීන සෑම ජනාධිපතිවරයෙකුගේම පාලන කාලය බලතල බෙදාලීමේ මූලධර්ම,නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ උත්තරීතරභාවය බිඳදැමූ පීඩාකාරී ඒකාධිපති ස්වරූපයේ ආණ්ඩු බිහිකරනු ලැබීය.

ප්‍රංශ ආදර්ශය රැගත් සමානුපාතික නියෝජන ක්‍රමය පසුව ගෙන එනු ලැබූ, ව්‍යවස්ථාවේ මුලික ව්‍යූහයට එකග නොවූ ව්‍යවස්ථා සංශෝධන මඟින් හා  ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් විකෘති කරනු ලැබූ අතර හඳුන්වා දෙනු ලැබූ මනාප ක්‍රමය නිසා බලයට හා වරප්‍රසාද වලට කෑදර වූ හෘදය සාක්ෂියෙන් අවිචාරවත් තොර මහජන නියෝජිතයන් පිරිසකගේ සම්ප්‍රාප්තියකට මඟ පෑදුවේය. එම තත්වය කෙතරම් අශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට හේතු පාදක වීදයත් එමඟින් මුදලට හා වරප්‍රසාද වලට  සිය මන්ත්‍රී ධූරය සමග විකිණෙන්නාවූ මහජන නියෝජිතයන් හා පරාධීන ඡන්දදායකයන් බිහිකිරීමට හේතුවූ අතර එමඟින් පාලකයන් යනු නීතියට මුවාවී දේශීය සම්පත්, මහජන දේපළ කොල්ලකෑමේ හා  විදේශයන්ට විකුණාකෑමේ යෙදෙන නිර්ලජ්ජිත පිරිසක් බවට පත්වීමට ඉඩවර සලසනු ලැබීය. එපමණක්ද නොව උගතුන්ගේ හා විශේෂඥයන්ගේ සහභාගීත්වය ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණෙන් බිහිකළ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අදාළ ව්‍යවස්ථා විධිවිධානයන්ට පටහැනි ලෙස තම පංති හිතවතුන්ට හා පරාජිත අපේක්ෂකයන්ට හුදු බලය පවත්වා ගැනීමේ අරමුණ උදෙසා දොළ පිදේනි සේ පූජා කරනු ලැබීය.

මෙලෙස  ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට පටහැනි ලෙස පරමාධිපත්‍යය හිමිජනතාව විසින් තමන් වෙත පවරන ලද ‘මහජන භාරය’ (Public Trust) ඉතාමත් අශිෂ්ඨ ලෙස උල්ලංඝණය කරනු ලැබූ ජනාධිපති-පාර්ලිමේන්තු හා පළාත්සභා පාලන ක්‍රමයකින් හෙම්බත්වී සිටින ජනතාව ‘වගකිව යුතු’ හා ‘වගකිව හැකි’  ‘පාරදෘශ්‍යපාලන තන්ත්‍රයක් ’ බිහිකර ගැනීම උදෙසා නව ව්‍යවස්ථාවක සිහින දකිමින් සිටි නමුදු 2016  ඊනියා  යහපාලන ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව තුළ අඩාල වීම තුළ පෙන්නුම් කරනු ලැබූයේ කවර අන්දමේ දේශපාලන පොරොන්දු දී බලයට පත්වන ජනාධිපති ආණ්ඩුවකට වුව ඒ සඳහා නිර්ව්‍යාජ වුවමනාවක් නොවූ බවය. තවද,  ඇතැම් මන්ත්‍රීන්ට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිසි උද්‍යෝගයක් සහ හැගීමක් නොවූවා පමණක් නොව ආණ්ඩු පක්ෂ - විපක්ෂ භේදයකින් තොරව බහුතරයක් මන්ත්‍රීන් තුළ ඒ සඳහා සැබෑ වුවමනාවක්  මෙන්ම අවබෝධයක්ද නොවූ බව එම ක්‍රියාවලිය  කඩාකප්පල් කිරීම සදහා නැගූ අභූත චෝදනා වලින් ඉතා පැහැදිලිය. මෙම තත්වය පුද්ගල බද්ධ වරදකට වඩා මුදල් බලය මත පාලන බලය තීරණය වන ක්‍රමයක වරදය. බලයේ සිටින පාලකයාගේ අත්තනෝමතික භාවයට වඩා නීතියේ ආධිපත්‍ය ඉහලින් තැබීමට අපොහොසත් ජනයාගේ අවිචාරවත් දේශපාලන සංස්කෘතියක අනීවාර්ය ප්‍රතිඵලයද විය.

මධ්‍යම ආණ්ඩුව හා පලාත්සභා අතර බලය බෙදීයාම සම්බන්ධයෙන් හෝ පළාත්සභා ක්‍රමය පවතිද්දී විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් හෝ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හෝ ගෙන එනු ලැබූ යෝජනා පිළිබඳ එකඟතාවයක් නොවන්නේ නම් කළ යුතුව තිබුනේ එම යෝජනා විවිධ පැතිකඩ ඔස්සේ සංවාදයන්ට හා විවාදයන්ට බඳුන් කොට ප්‍රායෝගික ව්‍යවස්ථාවක් සඳහා සම්මුති වලට එළඹීම මිස එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම නොවේ. එහෙත් සිදු වූ දෙයින් ඊට පරස්පර වූ වත්මන් ආණ්ඩුවේ  යෝජිත 20 වන සංශෝධනයෙන් පෙනී යන්නේ තිබෙන ව්‍යවස්ථාවට අසමමිතිකව සංශෝධන ගෙන එමින් විකෘති කරන ලද ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඔස්සේ එක් පන්තියක්  හා පවුල් කිහිපයක් අත බලය පවත්වාගෙන යාම මිස ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන මූලධර්ම ඔස්සේ සංවර්ධනය කරා පියනඟන රාජ්‍යයක් තැනීම නොවන බව දැන් දැන් බහුතකර ජනයා විසින් පසක් කරගනු ලැබ තිබේ.

මෙම තත්වය යටතේ දූෂිත බලලෝභී දේශපාලනයට තව දුරටත් ඉඩ නොතබා පොදු යහපත මුල් කර ගෙන ශක්තිමත් රාජ්‍ය පාලනයකට හැකියාව ඇති උගත් බුද්ධිමත් මිනිසුන් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගැනීමටත්, බිහිවී ඇති නව දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කෙරෙහි සැහැල්ලුවෙන් නොබලා ඔවුන්ද බලවත් කිරීමටත්, එමඟින් නව ව්‍යවස්ථා රාමුවක් ඔස්සේ සමෘද්ධිමත් සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමටත් පදනම සකස් කළ යුතු බව අපගේ අදහස වේ.

ඒ සඳහා සන්නද්ධ වීමට විද්‍යාර්ථීන්ට පමණක් නොව සාමාන්‍ය පොදු පාඨකයාටද  මහත් දැනුම් සම්භාරයක් සපයන පොතපත බහුල විය යුතු අතර විවිධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ තුලනාත්මක හැදැරීමද පුරවැසියාගේ විචාර බුද්ධිය මුවහත් කරවීමට අවශ්‍ය බව අපගේ අදහස වේ.

බුද්ධිගලනයට හේතුව හිමිතැන ලබා දෙන ප්‍රතිපත්ති ගරුක සමාජ ක්‍රමයක් නොමැතිකම

ගෝලීයකරණය මත පදනම් වූ විවෘත වෙළඳපොල ආර්ථිකයක බුද්ධිගලනය පාලනය කිරීම අසීරු කටයුත්තක් බව සත්‍යයකි. එහෙත් පසුගිය කාලය පුරා රට හැර ගිය බුද්ධිමතුන් සැලකිය යුතු පිරිසක් එසේ රට හැර යන ලද්දේ මව්බිමට සේවය කරනවාට වඩා විදේශයන්හි ලබන වරප්‍රසාද වලට ගිජුකමම නොව අපේක්ෂා භංගත්වය බව අපගේ විශ්වාසයයි.

රටේ පාලන තන්ත්‍රය තුළින් ජනවර්ගය, කුලය, බලය, ධනය මත නොව සුදුසුකම් හා හැකියාවන් මත නිසි තැන ලබා දෙන දේශපාලන සංස්කෘතියක්  යලි නිර්මානය කරන්නේ නම්   අවිචාරවත් බව නිසා අසහනයට පත්ව විදේශගත වූ බුද්ධිමතුන්ගේ හා විශේෂඥයන්ගේ සේවය වුව මෙරටට යළි ලබාගැනීම අසීරු නොවේ.

එනයින් අප විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසාක්ෂරතාව ප්‍රගුණ කිරීමෙන් ඉන්දියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඇමරිකාව ආදී රටවල භාවිතා වන ක්‍රමද අධ්‍යයනයෙන් අපගේම ව්‍යවස්ථාමය රාමුවක් කුමන අන්දමින් සිදුවිය යුත්තේදැයි  ජනතාව ලවා නිර්ණය කරවීමට  අප විසින්  දැනුම සමාජ ගත කල යුතු වේ.

 සාමය සදහා ජනවාර්ගික  ප්‍රශ්ණ විසඳීමේ මූලෝපායක් වශයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ද්‍රවිඩ බෙදුම්වාදය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත්සභා ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී යැයි කියාගනු ලැබූ දේශපාලන කණ්ඩායම් එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පලුදු කරමින් රට දෙකඩ කිරීමට තුඩුදෙතැයි කියන පදනම මත රට තුළ මහත් අරගලයක් දියත් කළේය. එමඟින් බොහෝ ජීවිත හා දේපළ විනාශ වූ අතර උතුරේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම අපේක්ෂිත විය. ජනයා තුළ තම මව්බිම සඳහා වූ දේශප්‍රේමය අවදි කිරීම එම ව්‍යාපාර වල තේමාව වූ බව ‘මව්බිම නැත්නම් මරණය’ වැනි පාඨ වලින් ප්‍රකට විය. අනෙක් අතට විසිවන වන සියවසේ මුල් භාගයේ පටන්ම උතුරේ ඇතැම් ද්‍රවිඩ දේශපාලකයන් ‘ෆෙඩරල් පක්ෂය’ බිහිකරගනිමින් ඉන්දියානු ආභාසයද ඇතිව ද්‍රවිඩ ප්‍රාන්තයක් බිහිකරගැනීම සඳහා ගෙනගිය ද්‍රවිඩ ප්‍රභූ දේශපාලන ව්‍යාපාරය,  පසුව ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ ඊලාම් විමුක්ති ව්‍යාපාරය හරහා ‘ද්‍රවිඩ රාජ්‍යයක්’ බිහිකර ගැනීමේ ත්‍රස්තවාදයක පරිසමාප්තියකට මගපෑදීය‍‍. සුළු ජාතීන්ට බෞද්ධයන් වෙනස්කම් කරනු ලබන්නේය යන්නද, නිදහසට පෙර වෙනම ස්වයං පාලනයක් උතුරු - නැගෙනහිර භූගෝලීය කලාප වලට තිබුණේය යන්නද, වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් බිහිකර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිය මඟින් පිළීගනු ලබන සංස්කෘතික සාධක හා දේශපාලන සාධක තෘප්ත කරනු ලැබ ඇත යන්නද, ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් යන්නද,ඔවුහු  වෙනම පාලන ඒකකයක අවශයතාව පිළිබද මතවාදය පෝෂණය කිරීමට තාර්කිකව උපයෝගී කර ගත්තෝය. වෙනම ද්‍රවිඩ රාජ්‍යයක අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ පෙනී සිටීම සාධාරණ වූවක් බව ලෝකයාට පෙන්නුම් කළේ සිංහල අධිපතිවාදය විසින් සුලු ජන වර්ග වල මූලික අයිතීන් සුලු කොට තකමින්  කල ඇතැම් වෙනස්කම් කල  හේතුවෙනි.

දේශීය විදේශීය දේශපාලන හස්තයන්ගේ ග්‍රහණයට හසුනොවී ද්‍රවිඩ බෙදුම් වාදයෙන් හා ත්‍රස්තවාදයෙන් යුධමය වශයෙන් රට මුදාගනු ලැබූවද, ඇතැම් ද්‍රවිඩ අන්තවාදීන්ගේ බෙදුම්වාදී ව්‍යාපාර තවමත් යටපත් වී නොමැත්තේ ත්‍රස්තවාදයට තුඩුදුන් නෛසර්ගික සමාජ ආර්ථික හා දේශපාලන අපේක්ෂාවන් බොහොමයක් මුදුන් පමුණුවා ගතහැකි දේශපාලන විසදුම් පවත්නා රාජ්‍ය පාලන තන්ත්‍රය මඟින් ඉටු නොවන බව ජනතාව ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති නිසාය.

ප්‍රභාකරන් විසින් උතුරෙන් පලවාහරිනු ලැබූ අන්‍ය ජාතීන් යළි පදිංචි කළද නොකළද, යුධමය විසඳුමකින් නොනැවතී පවත්නා ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් සංහිඳියාව හා සාමය ගොඩනැඟීමේ සමාජ ව්‍යාපාර පෙරටු කොට ගත් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය බැහැර කළ නොහැකි සත්‍යයකි. මන්දයත් මානව ආරක්ෂාව හා සංවර්ධනය සඳහා ස්ථාවර, සාමකාමී රාජ්‍යයක් යන්න අත්‍යාවශ්‍ය සංඝටකයක් වන හෙයිනි.ඒ සදහා උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් පලාත් සභා සහ ජන සභා වැනි බලය විමධ්‍ය ගත කිරීමේ ව්‍යවස්ථාමය  විධිවිධාන ආපසු හැරවීමේ යෝජනා බෙහෙවින් බැරෑරුම්ව  නැවත සලකා බැලිය යුතුය. 

ඉස්ලාමීය අන්තවාදය

ඉස්ලාමීය ලෝක රාජ්‍යය පිළිබඳ සිහිනය සැබෑකර ගැනීමේ ක්‍රියාවලියේදී නැගෙනහිර දකුණු ආසියා කලාපය (Global  Islamic Caliphate) අන්‍යාගමිකයන් මරා දමා තම ග්‍රහණයට නතුකර ගත යුතු බව ඉස්ලාම් අන්තවාදීන් විශ්වාස කරයි. දකුණු ආසියාවේ සාමයට සංවර්ධනයට හා සංහිඳියාවට වන මෙම තර්ජනය දේශීය වශයෙන් පමණක් නොව කලාපීය හා ගෝලීය වශයෙන්ද බරපතල ලෙස සලකා බැලිය යුත්තේ දකුණු ආසියා රටවල ඉස්ලාමීය අන්තවාදය පැතිරයාම මැඩ පැවැත්වීම සඳහා උපාය මාර්ගද විමසීමෙනි.ඉස්ලාමීය අන්තවාදය හුදු ආරක්ෂක විධිවිධාන තර කිරීම මගින් මුලිනුපුටා දැමිය හැක්කක් නොව ඉස්ලාමීය ප්‍රජාව ශ්‍රි ලාංකීය සමාජයට අනුකලනය කිරීමේ සමාජ දේශපාලන හා සංස්කෘතික උපාය මාර්ගික වැඩපිලිවෙළක් ඔස්සේ සිදුකල යුත්තකි.එය වෛරය හා සැකය වෙනුවට දයාව හා මෛත්‍රියද  සමානාත්මතාව හා සහෝදරත්වය මතද  සමගිය මතද පදනම් විය යුතුය.   

එනයින් බලන කල ශ්‍රීලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රගමනය උදෙසා රාජ්‍ය ව්‍යුහය තුළ ජනවාර්ගික පදනමක් මත නොවන  පරිධියට දේශපාලන බලතල බෙදාලීමක් (නොඑසේ නම් විමධ්‍යගත කිරීමක්) කාලීනව අවශ්‍යව තිබෙන බව පිළිගත යුතු වන බව මගේ පෞද්ගලික අදහසයි. අනෙක් අතට එය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් නිරන්තර ජන සහභාගීත්වය තුලින් ශක්තිමත් කිරීමටද හේතු වේ.  13 සංශෝධනය මගින් සන්නද්ධ අරගල මැද්දේ  ගෙන ආ පලාත් සභා විසදුම වත්මන් ආණ්ඩුව විවිධ තර්ක වාද  ගෙන හැර පාමින් කණ පිට හැර වීමට පිඹුරුපත් සැකසීම  යලි සමාජ ගැටුම් හා  අවිවාරය  හා අවනීතියට  අත වැනීමක් වනු ඇත.

බලතල බෙදාලීම පිළිබද පැරණි රාජාණ්ඩු ඉතිහාසයෙන් පාඩම්

විදේශ ආධිපත්‍යයන්ට නතුවීමට පෙරාතුව මෙරට දේශපාලන ඉතිහාසය විමසීමේදීද එක්සේසත් කළ රජුන් යටතේ විවිධ ප්‍රාදේශීය පාලකයින් පැවති බවද, යුවරාජයන්, ප්‍රාදේශීය පාලකයින්, ආදී ඈපා මාපාවරුන් පත්කොට තිබූ බවද ඉතා පැහැදිලිය. භූගෝලීය වශයෙන් පමණක් නොව ආයතනික වශයෙන්ද බලතල විමධ්‍යගත කිරීමට හුරුව තිබුනු බව වැඩවසම් පාලනයේ ඉතිහාසය  විමසීමේදී පැහැදිලිය.

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන බලතල ස්වදේශිකයන්ට පවරා දීමෙන් පසු ද්‍රවිඩ නායකයින් විසින් පෝෂණය කරනු ලැබූ ෆෙඩරල් සංකල්පය ශ්‍රී ලංකාවේ බහුතර ජනයා බියගැන්වීමට හේතුපාදක වී ඇත්තේ එහි  නූතන ප්‍රභවය ජනවාර්ගික වූවක් වීම සලකාය. එහෙත් පෙඩරල් යෝජනා මුලින්ම ගෙන එනු ලැබ ඇත්තේ උඩරට සිංහලයන් මිස දමිළයන් නොවේ.

ඇමරිකාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ප්‍රාන්තවලට වෙන්ව යාමට ඉඩ අහුරමින් ස්වාධීනව බලය පරිහරණය කිරීමට ඉඩකඩ විවර කරමින් භාවිතා වන ෆෙඩරල් ක්‍රමය තවත් දේශපාලන ක්‍රමෝපායක් විනා බියවිය යුත්තක් නොවන බව විවිධ රටවල භාවිතාවන් ඇසුරු කර ගනිමින් සංධීය (Federal) හා සහසංධීය (Confederal)යන   සංකල්ප විමසා බැලීමේදි පැහැදිලි වේ.

වර්ෂ 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ගෙනඑනු ලැබ නව ව්‍යවස්ථා යෝජනාවලිය හමස් පෙට්ටියට තල්ලු කරනු ලැබූවේ එහි තුළ ‘ඒකීය රාජ්‍යයක්‘  වෙනුවට ‘පළාත් සංගමයක්‘(confederation)යනුවෙන් ගෙන ආ රැඩිකල් යෝජනාවලිය බෙදුම්වාදයට උඩගෙඩි දීමක් සේ සිංහල බෞද්ධයන් සැලකූ නිසාය.  ඉදිරිපත් කළ ප්‍රශස්ත යෝජනාද සමග  2000 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප  වීමට වෙනත් කරුණු අතර සිංහල බෞද්ධ උගතුන් හා දේශපාලනඥයන් විසින්  එය රට දෙකඞ  කිරීමට  පිඹුරු පත් සැකැසීමකැයි  ජනතාවට අනතුරුඇගවීම ප්‍රබල ලෙස හේතු විය.එය ජාත්‍යන්තරයේ බෙදුම්වාදී වුවමනාවන් සඵල කිරීමට ආණ්ඩුව උඩගෙඩිදීමක් යන ප්‍රවාදයද ඊනියා දේශප්‍රේරමීන් විසින්  බලය බෙදා හැරීම වැලැක්වීම පිනිස උපයෝගී කරගනු ලැබිණ.එහි සත්‍ය අසත්‍යතාව කවරක් වෙතත් එහි  අවසන් ප්‍රතිඵලය වූයේ  ෆෙඩරල් නොහොත් සංධීය යන සංකල්පය, නොඑසේ නම් බලය බෙදීම පිලිබද සංකල්පය ජාතිකවාදීන්ට හා ජාතිවාදීන්ට පිළීකුල් සහගත සහ බිය ජනක එකක් බවට පත්කරනු ලැබීමය. 

 වත්මන් ජනවාර්ගික අසමඟිය හා මූලයෝ

වර්ෂ 1990 දී  පමණ උතුරු පළාත්සභාවේ මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඊලාම් කොඩිය ඔසවා අසම්මත ලෙස ද්‍රවිඩ රාජ්‍යයක් බිහිකළ බවට ප්‍රකාශයට පත් කිරීමද, ඊට සමගාමීව නැගෙනහිර ද්‍රවිඩ ජනයා උතුරු නැගෙනහිර පළාත් එක්කරන ලෙසද කරන ලද උද්ඝෝෂණ හා ඊට එරෙහිව නැගෙනහිර මුස්ලිම් ජනයා ඔවුන්ගේ වාර්ගික අනන්‍යතාවයන්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන්ට දෙවැනි කොට සලකා ‘අරාබි වසන්තයේ‘ (Arabian Spring) රැල්ල ඹස්සේ අරාබි සභ්‍යත්වය මත නවීකරණය කිරීමද, ඊට ප්‍රතිචාර ලෙස භික්ෂූන් ප්‍රමුඛව සිංහල බෞද්ධ ජනයා ‘බෞද්ධ  ධර්ම රාජ්‍ය සංකල්පය‘ නොව බෞද්ධ අධිපතිවාදය සුලු ජන වර්ග මත පැට වීමට උත්සාහ කිරීමද   , ජනවාර්ගික සමඟිය පළුදු කිරීමට හේතුභුත විය. තවද, එකී  අන්තවාදී ප්‍රවණතාවන් නිර්-ආගමික රාජ්‍ය ප්‍රතිපත්ති හා හා වාර්ගික සමානාත්මතා පරිපාලන මූලධර්ම මත මැඩ පැවැත්වීම වෙනුවට බුද්ධිහීන බල ලෝභී දේශපාලන නායකයින් හා නිලධාරීන්  ඉතිහාසය පුරා කරනු ලැබූයේ රාජ්‍ය තන්ත්‍රයේ ධූරාවලිද, අධ්‍යාපනයද, ආගමික හා වාර්ගික පදනම් මත බෙදා වෙන් කරමින් සමස්ථ රාජ්‍ය ව්‍යුහය පොදු ප්‍රතිපත්ති  හා නීති වලින් බැහැර වූ මාවතකට යොමු කිරීමය.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඊලාම් ත්‍රස්තවාදය හා ද්‍රවිඩ බෙදුම්වාදය අවසන් වෙතැයි පටු දේශපාලන වාසි උදෙසා විශ්වාස කළ ඇතැම් සිංහල ප්‍රභූ දේශපාලනඥයින් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් නොතකමින් බෞද්ධ භික්ෂූන්ගේ අනුශාසනය මත ‘සිංහල බෞද්ධ අධිපතිවාදය’ පවත්වා ගෙනයාමේ උපාය මාර්ගයක් ලෙස ජනාධිපති ක්‍රමය භාවිතා කළ බව විශේෂයෙන් මහින්ද පාලන සමය තුල සනාථ කළේය.

වර්ෂ 2010 ජනරාල් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනාධිපතිවරණයේද, වර්ෂ 2016 මෛත්‍රීපාල අපේක්ෂකයා වූ අවසන් ජනාධිපතිවරණයේද යන අවස්ථා දෙකෙහිදීම ප්‍රධාන තේමාවක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ පාලනයට සරදමක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්නය. ජනරාල් ෆොන්සේකා සිර ගත කිරීමද,අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධූරයෙන් පහ කිරීමද, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවාදයට පටහැනි ලෙස විධායක බලය අවභාවිතා කිරීමද ඊට හේතුභූත  වූ විවේචනයන්ය.

 විධායක ජනාධිපති බලතල පාර්ලිමේන්තුව මඟින් සීමාකළ යුතුය යන විකල්ප යෝජනාවද ඉදිරියට ආ අතර පළාත් සභා ක්‍රමය පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පළාත් සභාවල කේන්ද්‍ර අපසාරී බලය වර්ධනය වී රට බෙදීයාමකට ඉඩ ඇත යන තාර්කික පදනම මත විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුය යන ප්‍රබල මතවාදයක්ද පවතී.

අනෙක් අතට දෙවනපෑතිස්ගෙන් ස්ථාපිත පදනම බෞද්ධ වුවක් බැවින් සංස්කෘතිය කේන්ද්‍ර වූවක් බැවින් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්විය යුතු බවට බහුතරයක් වූ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් තර්ක කරන අතර යුරෝපා ආණ්ඩුක්‍රම වල නවීන ආදර්ශය ගුරු කොට ගනිමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මත දරණ පිරිස් රාජ්‍යය නිර්ආගමික විය යුතු බවට තර්ක කරයි.

 ISISත්‍රස්ත ප්‍රහාරයත් සමඟම සිංහල බෞද්ධ රාජ්‍යයේ තාර්කික මූලයන් යළි දලුලමින් වැඩෙන පසුබිමක ජනරජයක් බවට පත් වීමෙන් පසු සෑම ව්‍යවස්ථාවකම අන්තර්ගත වූ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු බවට වන ව්‍යවස්ථාමය විධිවිධාන යළි ආපසු හැරවීමට යත්න දැරීම බුද්ධි ගෝචර නොවනවා මෙන්ම බෞද්ධාගමේ එන සමානාත්මතා මූලධර්මය රාජ්‍ය ප්‍රතිපත්තිය කොට පිහිටා කිසිවකුටත් වෙනස්කම් නොකරන රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය කරන්නේ නම් ශ්‍රී ලාංකිකත්වය සිය අනන්‍යතාවය සේ සලකා කිතුණු හා ඉස්ලාම් ප්‍රජාව ඊට අවිරෝධී වන බව ඉතා පැහැදිලිය. භූතාන ව්‍යවස්ථාවේ හාවිතාවන් අනුගමනය කරමින්  ‘බෞද්ධ මූල ධර්ම මත පාලනය වන රාජ්‍යයක් ’ නිර්මානය වන්නේ නම්  සංවර්ධනය පිලිබද සැබෑ දර්ශකය වන ප්‍රීතිමත් ශ්‍රී ලාංකීය ජන සමාජය නිර්මානය කල හැකි නමුත් අන්‍යාගමිකයන් සමග ගැටුම් ඇතිකරගන්නා සන්දර්භයක එවැන්නක් සිදුවෙතැයි සිතීම උගහටය. 

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාදය බිඳවැටීම හා  හේතු

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාදය බිඳවැටී තිබෙන්නේ දේශපාලනික හා ආර්ථික සාධක වලට වඩා වාර්ගික සංස්කෘතික සාධක වලට ප්‍රමුඛතාවයක්දී ඒ පිළිබඳව හැඟීම්බරව  පක්ෂග්‍රාහී මත පළකරමින් ජනයා අතරමං කරනු ලබන ඊනියා දේශප්‍රේමීන් හා උගතුන්ගේ විසම්මුතික භාවය මිස ශ්‍රී ලංකාවට උචිත රාජ්‍ය කළමණාකරණය පිළීබඳ ශාස්ත්‍රීය පදනම් වල බරපතල නොපෑහීම් නොවේ.

විචාරාත්මකව විමසා ලෝක සම්මතයනට අනුව හරි වැරැද්ද තෝරා ගන්නා පිරිසක් බවට ජනයා පත් කිරීම රටේ උගතුන්ගේ හා අධ්‍යාපනඥයින්ගේ කාර්යභාරයකි. නව දකුණු අප්‍රිකාව බිහිකළ අසහාය නායකයා වූ නෙල්සන් මැන්ඩෙලා (“Education is the most powerful weapon to change the world.”) ලෝකය වෙනස් කිරීමට හැකි ප්‍රබලම ආයුධය අධ්‍යාපනය යැයි කියනු ලැබූයේ එහෙයිනි. උගතුන් හා වෘත්තිකයින් හා පූජකයින් දේශපාලනඥයින්ගේ බැලයන් ‍හා අනුගාමිකයන වෙමින් නිර්ව්‍යාජ අදහස් වලට මග අවුරන දේශයක සත්‍යය හා යුක්තිය හා සමාජ සාධාරණත්වය පැලපදියම් වන්නේ නැත. සත්‍යය හා යුක්තිය හා සමාජ සාධාරණත්වය ගරු නොකරන දේශයක සැබෑ තිරසාර සංවර්ධනය යනු සිහිනයකි.

තිරසාර සංවර්ධනයේ  අභ්‍යන්තර ගාමක බලවේගය පුද්ගල හා සමාජ බද්ධ  සාරධර්ම වන අතර එහි ක්‍රියාකාරී බලවේගය චර්යාධර්ම වේ. සාරධර්ම  හා චර්යාධර්ම පෝෂණයෙහි ලා  කේන්ද්‍රීය මෙවලම රාජ්‍යය වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී  නීතියේ පාලනය අප පොදුවේ පිළිගත් ප්‍රතිපත්තියයි.සත්‍යය මත පදනම් වූ යුක්තිය හා සාධාරණත්වයද, තරාතිරමේ වෙනසකින් තොරව මානව ගරුත්වය,මානව ආරක්ෂාව හා ජීවත්වීමේ අයිතිය සහතික කිරීමද රාජ්‍යෙයේ වගකීමයි. ග්‍රීක පෞර රාජ්‍යයෙහිද‍, කුරුධර්මය ආරක්ෂා කල කුරු රටෙහිද, ධර්මාශෝක අධිරාජයාගේ  හා වජ්ජීන්ගේ ධර්ම රාජ්‍යයන්හිද වැසියා සුවෙන් සතුටින් දිවි ගෙවු රහස සමගි සම්පන්න සාකඡච්චා සම්මුතියත්, සම්මුතිය මත වූ නීතියේ පාලනයත්ය.නීතියේ පාලනයේ සරල අර්ථය රජු පවා නීතියට යටත් බවත්, නීතියට ඉහලින් කිසිවෙක් නොසිටින බවත්,නීතිය කඩ කිරීමේදී තරා තිරම අනුව දඩුවම් නොවෙනස්ව බලපවත්වන බවත්, ශිෂ්ඨ භාවයේ මූලික මානව  සාරධර්ම වලට පටහැනිව නොයන බවත්ය.  

සම්මුතික ප්‍රජාතන්ත්‍රවාදයේ  ඉහත කී මූලධර්ම මත පිහිටා  පරමාධිපත්‍යය හිමි සර්ව ජනයාගේ ඡන්ද බලයෙන් පත් කරනු ලැබූ ජනතා නියෝජිතයන් මගින් පාලනය වන අතරම පක්ෂ දේශපාලනය මත වූ ආණ්ඩුකරණය, අපේ ආණ්ඩුක්‍රමයද පිලිගත් ක්‍රම වේදය වේ.පාර්ලිම්න්තු වේවා,ජනාධිපති-පාර්ලිමේන්තු වේවා,සෙනෙට් සභා- නියෝජිත මන්තීර්‍ වේවා කවර නියෝජන සම්ප්‍රදායකට යටත් වුවද එම නියෝජිතයන් ජනරජයේ භාර කරුවන් මිස අයිතිකරුවන් නොවන අතර පත් කරනු ලබන සීමිත කාලයක ඉක්ම ගිය පසු තම තනතුරු අතහැර යායුතු වෙති.තවද, ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායෙන් අනුගමනය කිරීමට බැදී සිටින ව්‍යවස්ථාදායක,විධායක, අධිකරණ යන ආයතන තුන මගින් වෙන්ව පරිහරණය කරන බලතල අතික්‍රමණය නොකිරීමටත්, විශේෂයෙන් වඩා උත්තරීතර යැයි සලකනු ලබන  අධිකරණ නියෝග, නීතියෙහි විධානයන් සේ සලකා කඩ නොකිරීමටත් බැදී සිටිති.  නීතිය ඉක්මවා ගිය සාරධර්ම හා  චර්යාධර්ම වන ඒවා දේශපාලන ශික්ෂාපදයන් ලෙස පිලිපැදිය යුතු වේ.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ට හා ශිෂ්ඨ රට වල ප්‍රමිතීන්ට අනුව රාජ්‍ය පාලකයන් රාජ්‍යකරණයේදී බැදී සිටින්නා වූ පොදු ජනයා කෙරෙහි වගකීම,වගවීම, පාරදෘශ්‍යභාවය මෙන්ම ඔවුන් හුදෙකලා කිරීමකින් තොරව පාලනයට සහභාගී කර ගැනීමද,ඔවුනට  රාජ්‍ය සම්පත් හා දේපල කළමනාකරණය පිළිබද තොරතුරු නිර්ව්‍යාජව හෙලි කිරීමද,මහජන භාරය නිරන්තරයෙන් ආරක්ෂාකිරීමද කල යුතු වේ. 

එහෙත් නිදහසෙන් පසු සියලුම දේශීය පාලකයන් අධික ලෙස බලය ලැබූ සෑම අවස්ථාවකදීම අඩු වැඩි වශයෙන්  සිදු කොට ඇත්තේ “ බලය දූශිතයි,අසීමිත බලය අසීමිත ලෙස දූශිතයි ” යන ඇට්කින් සාමි වරයාගේ සුප්‍රකට කියමන  සනාථ කරමින් බලය  අවභාවිතා කොට මහජන සම්පත් හා දේපල සූරාකමින් මව්බිම ආර්ථික වශයෙන් පමනක් නොව සමාජයීය වහයෙන්ද බංකොලොත් භාවයට පත් කිරිම බව  අකැමැත්තෙන් නමුත් පිළිගැනීමට සිදුව තිබේ. 1978 ව්‍යවස්ථාව යටතේ බලයට පත්ව විවෘත වෙළද පොල  ආර්ථිකය හදුන්වා දුන්  ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ පටන් යුද්ධය අවසන් කිරීමෙන් උද්දාමයට පත්ව 18 සංශෝධනයෙන් ඒකාධිපතියකු වීමට තැත් කල මහින්ද රාජක්ෂද, යහපාලනයේ බලාපොරොත්තු කඩකල සිරිසේනද දක්වා සෑම ජනාධිපති වරයෙක්ම බලය අවභාවිත කිරීම ප්‍රත්‍යක්ෂ වූ කරුණකි.

එනිසා කල යුත්තේ  පටු බලකාමී අපේක්ෂාවන්ට මුල් තැන දෙමින් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට පටහැනි 20 වන සංශෝධනය වැනි සංශෝධන වලට අත ඔසවා තවත් එවැනි ජනාධිපතිවරයකු බිහිකරනවා වෙනුවට වෙනුවට සබුද්ධික ව්‍යවස්ථාදායකයක් කල යුත්තේ සමස්ථ ව්‍යවස්ථාවම තිරසාර හා සහභාගීත්ව  සංවර්ධන ඉලක්ක කරා රට ගෙන යාමට මග පෙන්වන කොම්පාසුවක් ලෙස  භාවිතා කල හැකි ලෙස සංගතික ලෙස  නවීකරණය කිරීමය‍. යහ පාලන ආණ්ඩුව සමයේ කලාක් මෙන් ඒ සදහා මහජන අදහස් වලට මුල් තැන දීම ඉතා වැදගත්ය. 

අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන වලට ඍජුව හා අනියමින් බලය පැතිරවිය හැති සර්වබලධාරී ජනාධිපති වරයකු යලි බිහි කෙරෙන ප්‍රතිපාදන රැගත් 20 වන සංශෝධනය සාධාරිණීකරණය කරන බොහෝ දෙනාගේ තර්කය වන්නේ දැනට බලාත්මකව පවතින 19 සංශෝධනයෙන් ශක්තිමත් කල,පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සතු  සංවරණිය බලය(එනම් 41A ව්‍යවස්ථාවේ සදහන් ධූරයන් පත් කිරීමේදී  හා  කොමිෂන් සභා පත් කිරීමේදී නිර්දේශ බලය) නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් පත්වීම් ලැබූ ජනාධිපතිවරයාගේ බලය නිදහසේ භාවිතාකිරීමට නොහැකි වීමෙන් එම ධූරය හෑල්ලුවට ලක්වන බවය. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ එන ස්වර්ණමය මූලධර්මයක් වන සංවරණ මූලධර්මයට අනුව බලය සංවරණය වීම අත්‍යවශ්‍ය යැයි සලකනු ලබන්නේ එය අවභාවිතයෙන් පාලිතයන්ට මෙන්ම පාලකයන්ටද මුහුණදීමට සිදුවන අහිතකර ප්‍රතිඵල වලකාලීමටය.මහජන භාරයක කොටස් කරුවන් වන විධායකයේ,ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ යන ආයතන තුනේ නියෝජිතයන් ජනනතාවටද ඔවුනොවුනටද වගකිව යුත්තාහුය.එපමණක් නොව ඔවුහු ජනතාවට වගවිය යුතු වන්නාහුය.මහජන සම්පත් පොදු දේපල හා පොදු අරමුදල් සම්බන්ධයෙන් වග නොකියන ජනාධිපතිවරයකු තැනීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුමත නොකරන්නේ එය මූලික සංකල්පයක් වන පාරද්‍රශ්‍යභාවයේ සිද්ධාන්තයට පටහැනිවන නිසාය.අනෙක් අතට අපේ ව්‍යවස්ථාවේ මූලික ව්‍යහයට අනුව පරමාධිපති ජනතාව විසින් සවකීය පාලන බලතල   ජනාධිපතිට මෙන්ම ඔවුන්ගේ ස්වකීය ඡන්දයෙන්  තෝරාගත් ව්‍යවස්ථාදායක නියොජිතයන් වු කැබිනට් අමාත්‍යවරුන්ටද පාර්ලිමේන්තුවටද පවරා දෙයි.එබැවින් ජනාධිපතිවරයා මුදල් බලතල හිමි පාර්ලිමෙන්තුවට වගකීම මනා සංවරණයක් වන අතර බලය ගිලිහී ගිය දිනෙක වරදකට හසු නොවීමටද, වරදින් වැලැකීමටද කදිම නිවාරකයක් වේ. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගෙන් සුසැදි පාර්මේන්තුවකට වග නොකියන ජනාධිපති බලයක් ඉල්ලන්නේ කවර අන්දමේ කඩිනම් සංවර්ධනයක් සදහාදැයි දේශපාලන විනයක් හා අත්දැකීම් ඇත්තවවුන් දෙවරක් සිතා බැලිය යුතුය.  බල දේශපාලන අභිලාශයන් හා ලෝකයාට ශුද්ධවන්තභාවය පෙන්වීමේ අභිලාශයන් පෙරදැරිව ජනාධිපති කොමිෂන් සභා පිහිටුවා ප්‍රසිද්ධියක් ලබා දී එම වාර්තා හා නිර්දේශ බොහොමයක් හමස් පෙට්ටටියට යැවීමට හුරුපුරුදු රටක පාලකයන්ට වරද කිරීමට ඉඩ නොතැබීම, දඞුවම් ලබාදෙන ක්‍රමවේද සොයනවාට වඩා ප්‍රඥා ගෝචරය. පෙර මෙන් නොව දැන් ඇත්තේ එකම දේශපාලන බල මුලුවකින්  සමන්විත ආණ්ඩුවක් බැවින් පෙර මෙන් අභ්‍යන්තර ගැටුම් පිරි ආණ්ඩුවක් වේ යැයි කල්පනා කිරීම උගහටය. එබැවින් සෞභාග්‍යය උදාකිරීම සදහා කඩිනමින් කල යුත්තේ 19 සංශෝධනය වෙනස් කිරීමට කාලය මිඩංගුකිරීම නොව පක්ෂ විපක්ෂ හෙද ඉවත ලා බල දේශපාලනයෙන් මිදී තිරසර සංවර්ධනයක් සදහා ප්‍රතිපත්තිමය දේශපාලනයකට අවතීර්ණ වීමය. විදේශ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලාංකීය ජාතිය ඉන් ගොඩ ගැනීම සදහා නම්  වග කිව යුතු පාලකයන් කල යුත්තේ රාජ්‍ය පිරිවැය අඩු කරමින් දේශීය ශ්‍රම සම්පත හා ස්වාභාවික සම්පත් විදේශීය සම්පත් හා සුසංයෝජනය කරමින් තිරසර ආර්ථික සමෘද්ධියක් ඇතිකිරීම සදහා  කාර්මික හා කෘෂි කාර්මික නිශ්පාදන බලවේග ශක්තිමත් කිරීමය.ඒ සදහා ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව වැඩිකිරීමට පිඹුරුපත් සැකසීම වෙනුවට විශේෂඥ දැනුම හා ජන සහභාගීත්වය ඇතිව කෙටිකාලීන හා දිගුකාලීන සංවර්ධන සැලසුම් ලාභදායී හා කාර්යක්ෂම ලෙස දියත් කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම  කඩිනමින් සැපයීමය. 

 පරිසර හිතකාමී නොවන බල ශක්ති ව්‍යාපෘති, දැවැන්ත ගොඩනැගිලි,අධිවේගී මාර්ග,නව වරාය, ගුවන්තොටුපල වැනි  ජනයා මෝහනයට පත් වන ව්‍යාපෘති වලින් ඔබ්බට ගිය පොදු ජනයාට ඍජු ප්‍රතිලාභ ගෙනදෙන හා ධනවතුන් සැප විදිද්දී දුගී ජනයා අධිවේගී මාර්ග පාලම් යට වේලක් පමණක් කා සුසුම් හෙලමින් දුක් විදින ධනේෂ්වර සංවර්ධන සුසමාදර්ශයෙන් ඔබ්බට ගිය පුලුල් ආධ්‍යාත්මික දර්ශනයක්ද  සහිත පොදු සතුට තේමා කර ගත්  සංවර්ධන සුසමාදර්ශයක් ඔස්සේ නව ලෝකය හා අත්වැල් බැද ගන්නා රටක් නිර්මානය කිරීමට බල කරවන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකින් මිස  20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පොදු ජනයාට සුගතියක් නොවන බව බල ධාරීන්ට සිහිපත් කල යුතුය.  

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහය යළි ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යව ඇති මේ මොහොත ඉතා වැදගත්ය. මන්දයත් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි යුද නිසා වැනසී ගිය දකුණු හා නැගෙනහිර ආසියානු රාජ්‍යයන් බොහොමයක් සාමය සමඟිය හා සංහිඳියාව ඔස්සේ සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියදී පසුපසට ගමන් කිරීම මෙරට වෙසෙන්නන්ට පමණක් නොව වර්ග භේදයකින් තොරව මෙරට ජන්ම භූමිය කරගත් සියලු දෙනාට බෙහෙවින් ලජ්ජාවට හේතුවන හෙයිනි. අපේ මුතුන් මිත්තන් විසින් වඩා හොඳින් අපේ පරපුර වෙත භාරකර ඇති දේශය අපේ බාල පරපුරට වඩා සුරක්ෂිත කරදීම වත්මන් වැඩිහිටි පරපුරේ කාර්යභාරය වේ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන සදාචාරය ප්‍රතිනිර්මාණය කිරීමට අප රට උගතුන්ට  වෘත්තිකයින්ට පූජකයින්ට හා දේශපාලනඥයින්ට මීට වඩා සංකල්පීය හා ශාස්ත්‍රීය වශයෙන් මෙන්ම දැනුමින් හා ශ්‍රමයෙන් දායකවීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! යනු මගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.

Post a Comment

0 Comments