to-add

පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය

ආසියාන් සංවිධානයේ සමාජිකයෙකු වීමට ශ්‍රී ලංකාව එකල සමත් වූයේ නම්, මෙරට වෙළඳපොල ඉතාම තරගකාරී එකක් විය යුතුව තිබුණි. එසේම එය සිදුවූයේ නම් ආසියාවේ සියලුම ස්ථාන සැබෑ ලෙස යා කෙරන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්විය යුතුව තිබුණි. 

කතුවැකිය

මීට දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකාව ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට පමණක් නොව එහි  අරාම්භක සාමාජිකයෙකු වීමට උත්සහ කළේය. ඒ ජේ.ආර්. ජයවර්ධන බලයට ඒමටත් පෙර සිටය. ඉන් පසු ජේ.ආර්. ජයවර්ධන මහතා ආසියාන් සංවිධානයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය ලබා ගැනීම සඳහා උත්සහ කළේය. නමුත් එයද අසාර්ථක විය. ඊට හේතු වූ  ප්‍රධාන කරුණක් වූයේ මෙරට වාමවාදී යැයි කියාගත් කුහකයින් පිරිසේ විරෝධයයි. ඔවුහු රට තුළ දේශපාලන කලබැගෑනියක් ඇතිකොට රටට හිමි අවස්ථාව අහිමි කළේය.  එසේම රටින් පිටත විශේෂයෙන් ඉන්දියාව සහ සිංගප්පුරුව විවිධ දේශපාලන  කාරණා දක්වමින් ශ්‍රී ලංකාව ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ගත්  උත්සහය වළක්වාලනු ලැබීය.  නමුත් මැලේසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් එකල ගත් උත්සහය අගය කළ යුතුවේ.


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ලෙස බොහෝ විට සඳහන් වෙන කාරණයකි. නමුත් මෙම මධ්‍යස්ථ බව රටට සහ රටේ අනාගතය වෙනුවෙන් නිවැරදිව  දිශානති කළේ නැත.  දශක ගණනාවක් තිස්සේ විවිධ අරමුණු හේතුවෙන් ඇතිකරනු ලැබූ අභ්‍යන්තර ගැටුම් රට පිටුපසට ඇද දමනු ලැබීය. 

එසේම මෙරට වාමවාදීන් ව්‍යාජ බලාපාරොත්තු ලබා දෙමින්  ජනතාවගෙන් වැඩි කොටසක් මුලාවේ හෙළනු ලැබූහ. ඔවුහු චීනය හෝ සෝවියට් දේශය ගැන පුරසාරම් දොඩනු ලැබූ නමුත් එම රටවල් දියුණු වීම සඳහා භාවිතා කළ ක්‍රමෝපායන් ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැන විමසා බැලුවේ නැත. එසේම, ආසියානු කලාපයේ අනෙකුත් රටවල් දියුණු වීම සඳහා තම වෙළඳපොල නියාමනයන් වෙනස්කරන විට අපට ඉතුරු වූයේ අපේ පැරණි ඉතිහාසය සහ සම්ප්‍රදාය ගැන පුරසාරම් දෙඩීම පමණි. 

උදාහරණයක් ලෙස මැලේසියාවෙන් නිදහස් වුණු සිංගප්පුරුව ඇමෙරිකානු ක්‍රමෝපායන් තම රටට ගැලපෙන ආකාරයෙන් හසුරුවා ගත්තේය. එසේම චීනය, තම අරමුණු දිනා ගැනීම සඳහා ඇමෙරිකානු වෙළඳපොල සහ එහි සම්පත් උපරිමයෙන් භාවිතා කළේය. චීනය මේ වන විට ආර්ථිකම වශයෙන් ලෝක බලවතා වී සිටින්නේ ඇමෙරිකානු සහයෝගය නිසාය. විදේශ ප්‍රතිපත්තියක් හැසිරවීමේදී රාජ්‍යයක් කටයුතු කළයුතු අයුරු චීනය, සිංගප්පුරුව, ජපානය, සහ දකුණු කොරියාව යන ආසියානු රටවල් විසින් ප්‍රායෝගිකව පෙන්වා දී ඇත.  

බොහෝ දෙනෙකු, සිංගප්පුරුවේ දියුණුව ගැන කතා කරමින් ශ්‍රී ලංකාව සිංගප්පුරුවක් කිරීම සඳහා කටයුතු කරන බව සඳහන් කළෝය. නමුත් ඒ කිසිවකු, ශ්‍රී ලංකාව සිංගප්පුරුවක් කිරීමටනම් ලී ක්වාන් යූ වැනි නායකයෙකු සිටියයුතු බව අවධාරණය නොකළහ.   

සිහිනය සහ යතාර්ථය යා කිරීම සඳහා වැඩපිළිවෙලක් නොමැති සෑම විටම ඉතුරුවන්නේ සිහින පමණි. සිහින සැබෑ ලෝකයේ යථාර්ත බවට පත් කිරීම සඳහා දැක්මක් මෙන්ම කෞශල්‍යයක් තිබිය යුතුය. එවිට ඒ සඳහා වන සැලසුම ක්‍රියාත්මක කළ හැකිය. එසේම, සමකාලීන දේශපාලන ප්‍රවාහයන් නිවැරදිව කියවීමේ සහ තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. එවැනි හැකියාවන් ඇති  තැනක රාජ්‍යය ප්‍රතිපත්ති නිර්මාණය වේ. එය ශ්‍රී ලංකාවේ සිදුවූයේ නැත.ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ සෑම විටම නිර්මාණය වන්නේ බලයේ සිටින ආණ්ඩුව බලය රැක ගැනීම සඳහා ඕනෑම අවලස්සන කටුත්තක් ප්‍රතිපත්තියක් බවට පත්කොට ඊට නෛතික ස්වරූපයක් ලබා දීමය. 

අපි විශ්වාස කරන හැටියට ඊට මූලික හේතුව වන්නේ, ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීම සඳහා සකස් වී ඇති මාර්ගය ඉතාම පහසු වීමය. ඕනෑම අයෙකුට රටේ ජනතාවගේ සර්වජන අයිතිය මංකොල්ල කෑමට ඇති ඉඩප්‍රස්ථා ඔනෑ තරම් තිබේ. අවශ්‍යය වන්නේ මූල්‍යමය බලය සහ රටේ ජනතාව රැවටීම සඳහා අවශ්‍යය රසායන ද්‍රව්‍යය කිහිපයක් පමණි. 

ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වී මාස හයකට පසු එම ආණ්ඩුවට එරෙහිව  නැගෙන පටු විවේචන වලින් එහි අවසානය ආරම්භ වේ . ඉන් පසු ක්‍රමයෙන් එම ආණ්ඩුව බෙලහීන වන අතර නව බලාපොරොත්තු රැගෙන කිහිපදෙනෙකු රටේ බලය ලබා ගනු ලබති. එම කණඩායමද, ඉතාම කෙටි කාලයක් තුළ තම පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා වෙහෙසෙති.  ජනතාව කබලෙන් ලිපට වැටෙති.  රට වලපල්ලට යන්නාය. 

ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නඩත්තු කරනු ලැබුවේ මෙම වැඩපිළිවෙලයි. මෙවැනි වැඩපිළිවෙලකට රටට අවශ්‍යය රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කළ නොහැකිය. එවැනි වැඩපිළිවෙලකට කළ හැක්කේ ව්‍යාජ විවේචන ඉදිරිපත් කිරීම සහ විවිධ බලකඳවුරු වල ගොදුරු බවට පත්වීම පමණි.

ආසියාන් සංවිධානයේ සමාජිකයෙකු වීමට ශ්‍රී ලංකාව එකල සමත් වූයේ නම්, මෙරට වෙළඳපොල ඉතාම තරගකාරී එකක් විය යුතුව තිබුණි. එසේම එය සිදුවූයේ නම් ආසියාවේ සියලුම ස්ථාන සැබෑ ලෙස යා කෙරන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්විය යුතුව තිබුණි. එවැනි තත්වයක් යටතේ මෙරට ජනතාවට වැඩි රැකියා අවස්ථා ලබාගත හැකිව තිබුණි. නමුත් අවාසනාවට මෙන් සිදු වූයේ ශ්‍රී ලංකාවේ වෙළඳපොල හැකිලීම පමණි. එය අතීතයයි. වැදගත් වන්නේ අත්හළ සහ මග හැරුණු අවස්ථා වලින් ඉගෙන ගැනීමය. ඒවා වත්මන් සන්දර්භයන් තුළ අවබෝධ කරගෙන රටේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ 70 වැනි රාජ්‍යය ලේකම් ලෙස කටයුතු කරන මයිකල් රිචර්ඩ් පොම්පියෝ මහතාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය තේරුම් ගත යුතු වන්නේ මෙම සන්දර්භය තුළ බව අපේ හැඟීමයි. භූදේශපාලන පිහිටීම ගැන පුරසාරම් දෙඩීමෙන් ප්‍රයෝජනයක් නැත. වැදගත් වන්නේ එම භූගෝලීය පිහිටීමේ ඇති වාසිය මනාලෙස කළමනාකරණය කිරීමය. එසේ නොකරනතාක් දුරට ඉන් ප්‍රයෝජනය ගන්නේ වෙනත් බාහිර පාර්ශවයන් විසිනි. 

Post a Comment

0 Comments