to-add

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ මිත්‍යාව - සුහයිර්ගෙන් ඉගෙනගන්න

 

කතුවැකිය

ඔහු  නිවැරදිව එය අවබෝධ කරගෙන තිබේ. නමුත් බොහෝ දෙනෙකුට මෙම මූලික කාරණය අවබෝධ කර ගැනීමට නොහැකිය. ඇතැමුන්  සත්‍යය කුමක්දැයි අවබෝධ කරගෙන එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට අකමැතිය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්  එම් සුහයිර් පසුගියදා නැගෙනහිර පළාතේ පැවති  ජනහමුවකදී සඳහන් කොට ඇත්තේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික සමගියට ඇති බරපතළ බාධකය බවයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ජනවාර්ගික ආරවුල වැඩිදුර සංකීර්ණ වීම සඳහා හේතූ වූයේ මෙම මූලික කාරණය බව අපේ හැඟීමයි. ඒ නිසා එය ගැන නිවැරදි කියවීමක් සහ නිවැරදි කිරීමක් වහාම සිදුවිය යුතුය.



සැබවින්ම මෙහිදී මෙනෙහි කළයුතු කාරණය වන්නේ ඉන්දියාව තම අසල්වැසියන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය වත්මන් කාලයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතුව ඇති බවයි.  එසේ නොකිරීමේ ප්‍රතිවිපාකය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ඉන්දියාව කෙරෙහි දක්වන වත්මන් ආකල්ප වලින් පැහැදිළි වේ. එසේම, ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියානු ප්‍රත්පත්තියද කාලනුරූපියව වෙනස්විය යුතුය.

උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකතු  කිරීම ඉන්දියානු රජය ශ්‍රී ලංකාව හමුවේ බලෙන් පැටවූ පැරණි යෝජනාවකි. ඉන්දියාව  කුමන චේතනාවෙන් එය සිදු කළේද  යන්න දන්නේ එය නිර්මාණය කළ පිරිස පමණි.නමුත් එහිදී සඳහන් කළ මූලික කාරණය වූයේ මෙම පළාත් දෙක එකතු කිරීමෙන් දෙමළ ජනතාවගේ අභිලාශයන් සම්පූර්ණ වන බවයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ශ්‍රී ලාංකිකයින් හමුවට පැමිණියේ  එම වැඩපිළිවෙළේ නෛතික ස්වරූපයයි. මෙහි ඇති කනගාටුදායක කරණය වන්නේ , ශ්‍රී ලංකාව හමුවේ  මෙම විසඳුමක් නොවන "විසදුම" බලෙන් පටවනු ලැබුවේ ඉන්දියාවේ තනි කැමැත්තට වීමයි. එහි ප්‍රතිවිපාකය ලෙස දකුණු ආසියාවේ පදාසයක් පුරා පැතිරී ඇති සුවිසල් ඉන්දීය අර්ධද්වීපය පාමුළින් පිහිටි ශ්‍රී ලංකාවට ඛේදජනක සිදුවීම් රාශියකට මුහුණදීමට සිදුවිය.   ඉතිහාසය පළමුව ඛේදවාචකයක් ලෙසද දෙවනුව ප්‍රහසනයක් ලෙසද නැවත නැවත සිද්ධ වන්නේය යන පැරණි දේශපාලන අදහස ශ්‍රී ලංකාව අරම්භයාද එලෙසම සිදුවන බව ඇතැම් සිදුවීම් වලින් ඔප්පු වේ.  


එය අවබෝධ කර ගැනීම සඳහා ලබා දුන් තවත් සිදුවීමක් පසුගියදා වාර්තා විය. එනම් වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ පළමුව අසල්වැසියා නමැති විදේශ ප්‍රතිපත්තිය තුළද ඉන්දියානු පැරණි මතවාදය වෙනස් නොකොට තිබීමයි. ඉන් ඔප්පු කරන්නේ ඉන්දියාවට, ශ්‍රී ලංකාවේ ස්ථීරසාර සාමය සඳහා අවංකව උදව් කිරීමේ වුවමණාවක් නොමැති බවද? දෙරටේ අගමැතිවරුන් වන නරේන්ද්‍ර මෝදී මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති අතථ්‍ය හමුව අවසානයේ නිකුත් කරනු ලැබූ ඒකාබද්ධ නිවේදනයේ ඇතැම් කරුණු ශ්‍රී ලංකාවේ විරෝධය නොසලකා හරිමින් ප්‍රසිද්ධ කළ බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේය. එය සැබවින්ම අනිසි බලපෑමකි. එනම්, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට බල කළ ආකරෙයෙන්ම සිදු කරනු ලැබූ අවලස්සන ආධිපත්‍යක් පැතිරවීමකි.  

දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවීමට නම් එක්සත් රටක උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම එකම විසඳුම බව ඉන්දියාව සඳහන් කරයි. නමුත්, මෙම යෝජනාව රටේ සමගියට ඇති විශාලම බාධකය බව කියන්නේ රටේම සුළු ජනවාර්ගික කොටසක් වන මුස්ලිම් ජනතාව නියෝජනය කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහු  1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලබන අවස්ථාවට පෙර සිටම මෙරට දේශපාලනයේ නිරතව සිටි ක්‍රියාකාරී පුද්ගලයෙකි.  ඔහුගේ අදහස් වැදගත් වන්නේ මේ නිසාය. 

ඉතිහාසය අමතක කොට දමා විසඳුම් සෙවීමට නොහැකි බව කිසිවෙකු හෝ පිළිගන්නේ නම්, ඉන්දීය සාම සාධක හමුදාව ඇතුළු සියලුම පර්ශවයන් විසින් සිදුකළ අකටයුතුකම් වගවීමට සහ වගකීමට නතුකළ යුතුය. පැය  විසිහතරකින් උතුරු පළාතෙන් එළවා දමනු ලැබූ සිංහල සහ මුස්ලිම් ජනතාවට සිදු වූ අසාදාරනයට විසඳුමක් ලබාදීම වෙනුවෙන් කිසිවකුට හෝ තම අසල්වැසියා පළමුව නමැති ප්‍රතිපත්තිය ඔස්සේ  සලකා බැලීමට අවංක චේතනාවක් තිබේද? කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවක දෙමළ ජනතාවට ඉතාම සමගියෙන් සිටීමට හැකිවීම මෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාවට හිමි භුක්තිය සහ නිදහස උතුරු පළාතෙන් අහිමි කිරීම ගැන කිසිවකු හෝ හඬ නගන්නේද? ගැටළුවක් විසඳීමේ අවංක වුමනාවක් තිබේනම් එම ගැටලුව දෙස සත්‍යවාදීව බැලිය යුතුය. මෙම බලෙන් නිර්මාණය කරනු ලැබූ අර්බුධය විසඳීමට කිසිවකුට හෝ අවංක ආශාවක් තිබේ එම පාර්ශවය සලකා බැලිය යුත්තේ  සත්‍යය දෙස මිස විවිධ පරශ්වයන් විසින් විවිධ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදු කොට ඇති ව්‍යාජ ප්‍රචාර සහ මිත්‍යා නොවේ.  

දෙමළ ජනතාවගේ අභිලාෂයන් ගැන  සෑම ඉන්දීය ආණ්ඩුවකටම හැඟීමක් ඇත්තේ, තමිල් නාඩුවේ පවතින දේශපාලන යථාර්තය නිසා විය හැකිය. නමුත්, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ආරවුල විසඳා ගැනීමට එම කුහක දේශපාලනය මෙවලමක් කර ගැනීම සාර්ථක නැති බව ඉතිහාසය විසින් ඔප්පුකොට ඇත. එසේම, ස්ථීරසාර සාමයක් කෙරෙහි සැබෑ වුවමණාවක් තිබේනම් දෙමළ ජනතාවගේ අභිලාෂයන් ගැන පමණක් නොව, සිංහල, මුස්ලිම්, මැලේ ඇතුළු සියලුම ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි යුතුය. නමුත් එය පසෙකලා අතාර්කික සහ එකිනෙකා බෙදා වෙන්කරනු ලබන කාරනා ගැන කතා කිරීම ජනතාවගේ සැබෑ ඕනෑ එපාකම් වලට සමච්චල් කිරීමකි.  

උතුරු සහ නැගෙනහිර පළාත් එකතු කිරීම ශ්‍රී ලංකාවේ සමගියට ඇති බරපතළම බාධාව බව අපිද විශ්වාස කරන්නේ එනිසාය. අඩුම තරමින් බ්‍රිතාන්‍යයන් දකුණු ආසියානු කලාපයේ අර්බුධ තව දුරටත් උග්‍ර කිරීම සඳහා සහ ජින්නා, නෙහ්රු ඇතුළු භාරත නායකයින්ගේ අසමගියට සහ අහංකාරකමට පිළිතුරු වශයෙන් 1947 දී  හඳුන්වා දුන් බෙදා වෙන්කිරීමේ (පාර්ටිෂන් ) සිද්ධියෙන් ඉගෙන ගත යුතුය.   එහි වන්දිය ඉන්දියාව සහ පකිස්තානය අදටත් ගෙවමින් සිටින්නේ මිනිස් ජීවිත වලිනි. එසේනම්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලනය ගැන කිසිවෙකුට හෝ කැක්කුමක් තිබේ නම් එම පාර්ශවයන් පළමුව භූමියේ සත්‍යය තේරුම් ගැනීමට තරම් අවංක විය යුතුය. එය සියලු මුලාවන් වලින් මිදීමේ පළමු පියවරයි. 

Post a Comment

0 Comments