to-add

වතුර කළයක් ගඟට දමා රටේ කොරෝනා සුව කිරීම



ගාමිණී වියන්ගොඩ



ලැජ්ජා නැති මිනිස්සු 

ලැජ්ජාව සතුන්ටත් ඇතැයි මා නිරීක්ෂණය කොට තිබේ. එහෙත් එය උන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ, මිනිසුන්ට වඩා වෙනස් ආකාරයකිනියි සිතේ. මිනිසුන්ට ලැජ්ජාව වැදගත් වන්නේ, ශිෂ්ටාචාරයේ ප්‍රගමනය සඳහා ය. ශිෂ්ට සමාජයක මිනිසා, දඬුවමට වඩා ලැජ්ජාවට බිය වෙයි. එයම, වැරදි කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන ස්වාභාවික තිරිංගයක්ද වෙයි. මේ නිසා, නීතිය ඔස්සේ දඬුවම නමැති බාධකය පවත්වාගෙන යනවාටත් වඩා වැදගත්කමකින්, මිනිසා තුළ පවතින ලැජ්ජාව පිළිබඳ මානසික බාධකය පවත්වාගෙන යාම සමාජ යහපතට වැඩදායක වෙතැයි සිතිය හැකිය.

තවත් විදිහකින් කිවහොත්, ඒ ලැජ්ජාව නැති තැන, මිනිසා අතින් අනන්තවත් විළිලැජ්ජා නැති දේවල් සිදුවිය හැකි බවයි.

ලැජ්ජාව පිළිබඳ අදහස මුලින්ම මිනිසාට එන්නට ඇත්තේ, ලිංගිකත්වය පිළිබඳ කාරණා ආශ්‍රය කරගෙන යැයි සිතිය හැකිය. ඒ නිසා, අදටත් බොහෝ විට මේ ලැජ්ජාව ලිංගිකත්වයට සම්බන්ධතාවක් දක්වයි. එහෙත්, දැන් සියවස් දෙකක පමණ කාලයක සිට විද්‍යාව විසින් ලැජ්ජාවේ තවත් මානයක් හෙළිදරව් කොට ඇත. මීට සියවස් විසිපහකට කලින් බුදුන් වහන්සේ ඒ මානය හැඳින්වූයේ මෝහය වශයෙනි. එදා ගස් ගල්වලට මිනිසුන් වන්දනාමාන කිරීම ලැජ්ජාවට කාරණයක් වශයෙන් උන්වහන්සේ පිළිකෙව් කළහ.

කෙසේ වෙතත්, බුදුන් වහන්සේ දේශනා කළ මෝහය ලෝකෝත්තර කාරණයකි. නූතන විද්‍යාව, ඊට මෙහා තිබෙන ලෞකික තත්වය පිළිබඳ නිරීක්ෂණවේදයකි. ඒ නිසා විද්‍යාවෙන් නිරාවරණය කෙරෙන්නේ ලෞකික මෝහයයි. ගිය සතියේ පසළොස්වක පොහොය දා ඔබ අහසේ දුටු පුන්සඳේ පැවැති සෙවණැලි ඡායාව, මීට බොහෝ කලකට කලින් ශක්‍රයා විසින් හඳේ අඳින ලද හාවෙකුගේ රුවකැයි විහිළුවටවත් අද ඔබ කියන්නේද? එසේ නොකියන්නේ ඇයි? 1969 එක්තරා දවසක යම් මිනිසෙකු හඳට ගොස් ඒ කතාව මිථ්‍යාවක් බව, ප්‍රත්‍යක්ෂ දත්ත සමගින් ඔබට පෙන්වා දී ඇති නිසා ය. ඒ අනුව, ඔබ දැන් හඳේ හාවාගේ කතාව කීමට ‘ලැජ්ජා’ වෙයි. අපේ ස්වාමීන් වහන්සේලා පවා ඒ කතාව දැන් සිය ධර්ම දේශනාවලට නිමිති කරගන්නේ නැත.

සබුද්ධික මිනිස්සු - මන්දබුද්ධික වීම 

මා අවධාරණය කිරීමට සැරසෙන කාරණය මෙයයි: සබුද්ධික යැයි ගැනෙන මිනිසුන් මන්දබුද්ධිකව හැසිරීම ‘ලැජ්ජාවට’ කාරණයක් බවට පත්වන තත්වයක් විද්‍යාව විසින් ඇති කොට තිබේ. ඒ වනාහී, බුද්ධිය ආශ්‍රයෙන් ලැජ්ජාවේ නව මානයක් විවර කර දීමකි. 

කොරෝනා වෛරසය පිළිබඳ සියලු විද්‍යාත්මක දත්ත අද අප සතු ය. අප සතුව නැත්තේ, ඊට ප්‍රතිකර්මයක් පමණි. මීට පෙර මිනිසුන් ලක්ෂ ගණනින් ඝාතනය කළ වෛරස සහ වෙනත් රෝග සඳහා විද්‍යාවෙන් ප්‍රතිකර්ම සොයාගෙන තිබේ. ඒ ආකාරයෙන්ම, මේ කොරෝනා රෝගය සඳහා ප්‍රතිකාරයක්ද ඉතා ඉක්මණින් විද්‍යාව මගින් සොයාගනු ඇත. එය කවදා සොයාගත්තත්, එම ප්‍රතිකාරයේ තිබිය යුතු අනිවාර්ය අංගය වනු ඇත්තේ, රෝග මූලය නැසීමට හෝ මර්දනය කිරීමට තරම් හැකියාවක් ඊට තිබීමයි. එසේ නොවන කිසි බෙහෙතක්, මිථ්‍යාවක් මිස, ප්‍රතිකාරයක් නොවන්නේය. 

දැන් කොරෝනා වෛරසය පිළිබඳව පෘථග්ජන අපිත් බොහෝ දේ දනිමු. එය වැලඳෙන ආකාරය, වැඩෙන ආකාරය සහ මර්දනය වන ආකාරයත් ඒ මූලික දැනුමට අඩංගු වෙයි. ඒ ඒ අංශවල විශේෂඥ විද්වතුන්ට ඒ දැනුම ලබා දීම ගැන අප ස්තුතිවන්ත විය යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාව මගින්වත්, දේශීය වෛද්‍ය විද්‍යාව මගින්වත්, ඒ රෝගය නිවාරණය කිරීමේ මාර්ගයක් වශයෙන් පිරිතක් සජ්ජායනා කිරීම හෝ ගඟකට ගොස් වතුර කළයක් අතහැරීම හෝ නිර්දේශ කොට නැත. එසේ නිර්දේශ කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මම නම් නොපැකිළෙමි. මන්ද යත්, එවැනි නිර්දේශයක්, දැනට අප දන්නා රෝගයේ ස්වභාවය සමග මොන විදිහකින්වත් සමපාත නොවන බැවිනි. එය සමාන වනු ඇත්තේ හඳේ හාවාගේ කතාන්තරයටයි. 

කොරෝනා වසංගතය ජයගැනීම සම්බන්ධයෙන් ලංකාව ලෝකයේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇති බවට කතාවක් මීට ටික කලකට කලින් ඔබ අසන්නට ඇති. අද උදේ මා දුටු එක් වීඩියෝ පටයක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ජයගත් ආකාරයෙන්ම මේ වසංගතයත් ජයගැනීම ගැන මීට කලකට කලින් උදම්අනන කතාවක් තිබුණි. එසේම, මෙවර මේ වෛරසය පැතිරුණේ ජනතාවගේ වරදින් යැයි රජය කියන බවක්ද එහෙන්මෙහෙන් ඇසේ. මගේ මතකයට නැඟෙන්නේ, සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’ නාට්‍යයේ එන දෙබසකි. වචන මතක නැති නිසා සරල අදහස පමණක් සඳහන් කරමි. යුද්ධයක ජය, රජතුමා ලැබූ ජයක් වශයෙන්ද, යුද්ධයක පරාජය ජනතාව ලැබූ පරාජයක් වශයෙන්ද ඉතිහාසයේ ලියැවෙයි. ගොවිතැනේ සශ්‍රීකත්වය රජුගේ සාර්ථකත්වයක් වශයෙන්ද, දුර්භික්ෂය ජනතාව ලද පරාජයක් වශයෙන්ද ඉතිහාසයේ ලියැවෙයි. 

ශ්වසන ආධාරක උපකරණ ගෙන්වා නැති රටේ වතුර කළයෙන් ලෙඩ සුවකිරීම

වෛද්‍යවරයෙකු යැයි කියාගන්නා කෙනෙකුත්, දේශපාලඥයන් තිදෙනෙකුත් යම් ගඟක පාලමක් උඩට ගොස් වතුර කළයක් ගඟට දමන වීඩියෝ පටයක් අද උදේ දකින්ට ලැබුණි. එයින් එක් අයෙකු, වර්තමාන සෞඛ්‍ය ඇමතිනිය වීම, මේ රට මොන තරම් කරුමක්කාරදැයි සිතෙන තරමේ විහිළුවකි. ඛේදවාචකයකි. මා ඉහතින් කී බුද්ධිමය ‘ලැජ්ජාව’ නැතිකම මෙහිදී කැපී පෙනේ. කොරෝනා රෝගයේ තීරණාත්මක සහ භයානක අදියරක් වන්නේ ස්වසන ක්‍රියාවලියේ ආකූලතාවක් බවට යම් අවස්ථාවකින් පසු එය පත්වීමයි. මුල්ම රෝගියා ලංකාවෙන් සොයාගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේ දෙවැනි සතියේදී යැයි කියති. එදා සිට අද දක්වා, එනම් මේ රෝගය පැවති මාස අටකට ආසන්න කාලයක් තිස්සේ එකම ස්වසන ආධාරක යන්ත්‍රයක්වත් අපේ සෞඛ්‍ය බලධාරීන් විසින් මෙරටට ගෙන්වා නැති බව ඊයේ පුවත්පත් වාර්තා කෙළේය. එවැනි සිල්ලර නුවණක් පවා නැති සෞඛ්‍ය ඇමතිවරියක් කොරෝනා වසංගතය මැඩලීම සඳහා අතුගංගාවකට පැන් කළයක් අතහැරීම, මුග්ධ මිථ්‍යාවකට අමතරව, විළිලැජ්ජා නැතිකමකුත් නොවන්නේද? තමන් මෙතෙක් කල් කී ආශ්චර්යමත් පාලන තන්ත්‍රය කාටත් පෙනෙන සේ මේ කොරෝනා මර්දනයේදී අසාර්ථක වී ඇති බව හෙළිදරව් වීමෙන් ඇති වූ ආතක්පාතක් නැතිකම නොවේද එයින් පෙන්නුම් කරන්නේ?                     

පසුගිය දා තවත් අඟනක් අපේ මාධ්‍ය අවකාශය හෙබෙව්වාය. තමා 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම, මීට අවුරුදු දෙදහසකට පමණ කලින් රෝමයේ පාලකයා වූ ජුලියස් සීසර්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට ඈ සම කළාය. ඈට අවශ්‍ය කෙළේ තමා කළ ක්‍රියාවට බුද්ධිමය අභිමානයක් තවරා ගැනීමටයි. මෙය, මා ඉහතින් විස්තර කළ ලැජ්ජාව නමැති කාරණයේ අනිත් පසින් පිහිටන්නකි. විපක්ෂයේ මහජන නියෝජිතවරියක නොවන ලැයිස්තු මන්ත්‍රීවරියක වශයෙන් තමාගේ ක්‍රියාව (20 ට පක්ෂව ඡන්දය දීම) ගැන ලැජ්ජාවක් ඈට තිබෙන්නට ඇති. එය විදග්ධ ආකාරයකින් විසඳාගැනීමටත් ඈ සිතන්නට ඇති. ජුලියස් සීසර් සීන් එකට ආවේ එතැනිනි. 

මීට සති තුනකට පමණ පෙර කොළඹ කුඩා කැරකොප්පුවකදී මට ඇය මුණගැසුණි. ඒ ආදාහනාගාරයේ බිත්තියේ ඵලකයක, සුපුරුදු පරිදි, එය විවෘත කළ දේශපාලඥයාගේ නම සඳහන් කොට තිබුණි. තමා තුළ සැබවින් නැති, රැඩිකල් සහ විදග්ධ භාවයක් පෙන්වීමට දැඩි රුචියක් දක්වන මැය, එසේ දේශපාලඥයන්ගේ නම් ගැසීමට මහජන මුදල් නාස්ති කිරීමට තමා සහමුලින් විරුද්ධ වන බව එහි සිටි අප දෙතුන් දෙනෙකුගේ දැනගැනීම පිණිස කනට කර කීවාය.

මට ඇගෙන් ප්‍රශ්නයක් ඇසීමට සිතුණි. ඒ කියන දේශපාලඥයාගේ (ඔහු, ඇය අලුතෙන් එකතු වූ පොහොට්ටු පක්ෂයේ දේශපාලඥයෙකු බව දත යුතුය) නම එතැන ගැසීමට වැඩිම වුණොත් අපේ සල්ලි රුපියල් දෙතුන්දාහක් යන්නට ඇති. එහෙත්, ඔයා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් සිටින්නේ, ඔයාගේ ස්වාමියාගේ පක්ෂයක නම සජිත් ප්‍රේමදාසට පවරා දීම සඳහා වන හුවමාරු වටිනාකමක ප්‍රතිඵලයක් වශයෙන් නොවේද? සැබෑ නාස්තියක් වන්නේ, මේ කියන දේශපාලඥයාගේ නාමය සොහොන් පිටියක ඵලකය සඳහන් වීමද, නැතහොත් පාර්ලිමේන්තුවේ ආසනයක් සඳහා හෙට්ටු කිරීමට තමාගේ ලියාපදිංචි නාමයක් පාවිච්චි කිරීමද?     

බලය මොන තරම් වසඟකාරීද යත්, ඉතිහාසය තුළ බලය හුවමාරු වී ඇති අන්දම අර්ථකථනය කළ හැකි ආකාරයන් බොහෝ ය. එකම සිද්ධිය පිළිබඳ අර්ථකථන කිහිපයක්, එකිනෙකට ඉඳුරා පරස්පර වීමටත් ඉඩ තිබේ. ඒ අර්ථකථන සියල්ලටම ප්‍රමාණවත් සාක්ෂි එම සිද්ධිය තුළින්ම සොයාගැනීම අපහසු නැති බැවිනි. 

ජුලියස් සීසර් ඝාතනය කෙරුණේ රෝමය කෙරෙහි පැවති ආදරය නිසා ය යන්න එවැනි එක් අර්ථකථනයකි. එනම්, ජුලියස් සීසර් රෝමයේ ජනරජවාදී ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් ඒකාධිපතියෙකු වශයෙන් නැඟී ඒම වැළැක්වීම සඳහා ඔහු ඝාතනය කරන ලද්දේය යන්නයි. ඒ නිසා එම ඝාතනය යුක්තිසහගත කළ හැකිය යන්න ඉන් පැමිණිය හැකි එක් නිගමනයකි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා ජුලියස් සීසර් ඝාතනය කිරීමෙන් අනතුරුව බලයට පත් නරේන්ද්‍රයා රෝම ජනරජය සහ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දමා අධිරාජ්‍යවාදයකට උරදුන්නේය. එසේ නම්, ජුලියස් සීසර් ඝාතනය කිරීම අවසානයේ තුඩුදී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට නොව විනාශයට ය යන්න, ඉන් පැමිණිය හැකි තවත් නිගමනයකි. 

ඉහත කී ලැයිස්තු මන්ත්‍රීවරිය, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් කීවේ, තමා ජුලියස් සීසර්ට වඩා රෝමයට ආදරය කරන නිසා එසේ කළ බවකි. ජුලියස් සීසර් ඝාතනය කළ පුද්ගලයා ඇය පටලවාගෙන සිටීම ගැන බොහෝ දෙනා තවමත් ඈට අවලාද නඟති. එහෙත් එය, ඇගේ උපදේශක ‘වියතාගේ’ වරදක් මිස ඇගේ වරදක් නොවේ. කෙසේ වෙතත්, ඇගේ කතාව තුළ මේ ලියුම්කරුට නොතේරුණු ප්‍රධාන කාරණයක් තිබුණි. එනම්, ඇගේ උපමාව, 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් කෙසේ ස්ථානගත කරගන්නේද යන්නයි. 

ඇය ඝාතනය කළයුතුව තිබුණේ 20 සංශෝධනයයි

ඉතා දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ක්‍රිස්තු පූර්ව 44 හෝ ඒ ආසන්න වකවානුවේ රෝමය යනුවෙන් අදහස් කෙරුණේ, හුදෙක් භූගෝලීය ස්ථානයක් පමණක් නොව, සංවරණ සහ තුලන ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ දියුණු ආයතනික පද්ධතියකි. ජුලියස් සීසර් කෙළේ ඒ දියුණු ආයතන පද්ධතියේ ගෙල සිර කරමින් තමාගේ අතට බලය කේන්ද්‍රගත කරගැනීමට තැත් කිරීමයි. දැන්, ලංකාවට නැවත ආවොත්, 20 වැනි සංශෝධනයෙන් ඉවරයක් කර දමනුයේ නිදහස් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුෂ්ටිමත්ම අංගය වන සාමූහික ප්‍රජාතන්ත්‍රවාදයයි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය වැනි දියුණු ආයතනික පද්ධතියයි. එසේ කොට ඒ මගින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ, තනි-පුද්ගල රාජ්‍යත්වයයි. ඉතිං, ජුලියස් සීසර් සහ රෝමය උදාහරණයට ගන්නේ නම් ඇය ඝාතනය කළ යුතුව තිබුණේ 20 වැනි සංශෝධනයයි. ලංකාවේ ජුලියස් සීසර් සිටියේ එතැන ය. එහෙත් ඈ කෙළේ කුමක්ද? සීසර්ව බේරාගැනීමට රෝමයට පිහියෙන් ඇනීමයි! 

(ජුලියස් සීසර් පිළිබඳ ඇය කියන අර්ථය අගේට ගැලපෙන අවස්ථාවක් විය හැකිව තිබුණේ, විදුර වික්‍රමනායක හෝ විජේදාස රාජපක්ෂ වැනි කෙනෙකු 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කෙළේ නම් ය).

මේ සියලු අපබ්‍රංශ මදිවටදෝ, ජුලියස් සීසර් පිළිබඳ බකපණ්ඩිත කතාව කීමෙන් පසු ඈ අපෙන් පෙරලා යම් ප්‍රශ්නයක් අසයි. එනම්, බලතල නැති ජනාධිපතිවරයෙක් ලංකාවට කුමටද කියා ය. 20 වැනි සංශෝධනයට ඈ ඡන්දය පාවිච්චි කෙළේ, ‘බලතල සහිත’ ජනාධිපතිවරයෙකු ඇති කරගැනීම වෙනුවෙන්ලු. ඒ ගැන පක්ෂ විපක්ෂ මතවාද තිබිය හැකි වෙතත්, එහිදී අපට මතුවන ප්‍රශ්නය වන්නේ, කරුණු එසේ නම් එදා ජුලියස් සීසර්ව මැරුවේ ඇයිද යන්නයි. මන්ද යත්, ජුලියස් සීසර් උත්සාහ කෙළේද සියලු බලතල සහිත රාජ්‍ය නායකයා වීමට බැවිනි. 

විළිලැජ්ජාව නැතිකම සහ අනාගැනීම අතරත් යම් සම්බන්ධයක් ඇතැයි විටෙක සිතේ.



(මේ මාතෘකාවේ පළමු ශීර්ෂය, මීට සතියකට කලින් ‘අනිද්දා’ පුවත්පත වෙනුවෙන් ලිවීමට පටන්ගත් ලිපියක එක් කොටසකට සම්බන්ධ ය. දැන් තත්වයේ හැටියට ඉදිරි සතියේත් ‘අනිද්දා’ පුවත්පත ප්‍රකාශයට පත්නොවන නිසා, එම අදහස් ‘ඔන්ලයින්’ පාඨකයන් සමග පමණක්වත් බෙදාහදාගැනීම යෙහෙකැයි සිතුණි. එසේ තිබියදී, මේ මාතෘකාවේ දෙවැනි ශීර්ෂයට අදාළ ප්‍රවෘත්තිය අද (02) දැනගැනීමට ලැබුණි. ඒ නිසා, ඒ දෙකම එකතු කොට මෙසේ ලියැවුණි).


Post a Comment

0 Comments