to-add

හෙළදිව වාරි සංස්කෘතිය

වැව යන සිංහල වචනය පාලි හා සංස්කෘත භාෂාවල එන වාපි යන්නෙන් බිඳුණකි. පැරණි සිංහල සෙල්ලිපිවල මෙය වපි සහ වචි යනුවෙන් සඳහන් කරයි. වැව යනු ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ බිහි වූ අති විශිෂ්ටතම නිර්මාණයකි.

හංසනි දිල්හාරා

 ‘‘අපපකංපී’දිසෙ දෙසෙ සලිලං වුටඨි සමභවං

  විනා ලොකොපකාරෙන ජාතු මා ගඤජි සාගරං’’ 

 මහාවංශය තුළ සඳහන් වන මෙහි අර්ථය නම් ‘‘අහසින් වැටෙන එක දිය බිඳක් පවා මනුෂ්‍ය ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා නොයා යුතු ය’’ යන්න ය. හෙළදිව ජන සංස්කෘතිය හා ජලය අතර පැවැතියේ අවියෝජනීය සබඳතාවයකි. ජලයේ පවතින දේශපාලනික හා ආර්ථික වටිනාකම මැනවින් හඳුනාගත් පළමුවැනි පරාක‍්‍රමබාහු රජු ජලය නිසි ලෙස ප‍්‍රයෝජනයටයට ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙම පාඨය මඟින් ප‍්‍රකාශ කර ඇත. එ් අනුව විධිමත් ජල කළමනාකරණය පිළිබඳ අදහසක් මින් ඉදිරිපත් වන බව පැහැදිලි ය. ශ‍්‍රී ලාංකේය අතීත කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුණු ප‍්‍රධාන සංස්කෘතික අංගයක් වශයෙන් හෙළදිව වාරි සංස්කෘතිය පෙන්වා දිය හැකිය. 

 වැව යන සිංහල වචනය පාලි හා සංස්කෘත භාෂාවල එන වාපි යන්නෙන් බිඳුණකි. පැරණි සිංහල සෙල්ලිපිවල මෙය වපි සහ වචි යනුවෙන් සඳහන් කරයි. වැව යනු ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ බිහි වූ අති විශිෂ්ටතම නිර්මාණයකි. සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ මාහැඟි සංකලනයකි. වැව යන්න ගත්කල එය මූලික කොටස් කිහිපයකින් සමන්විත වේ. බිසෝ කොටුව, සොරොව්ව, ඇතුළුවාන, පිටවාන, කළිඟු බැමි, වැව් පිටිය, වැව් තාවුල්ල, ඉහත්තාව, ඉස්වැටි, වැඩඉනා මළු, පනම් බැඳි ගස්, බිසෝ වැව්, රැුළපනාව, රිඳී බැඳිල්ල, දියකැට පහන නවය, ඇළ මාර්ග ආදී වශයෙන් කොටස් ගණනාවක් මෙහිදී හඳුනාගත හැකිය. පුරාණ සිංහලයෝ විශේෂයෙන්ම ජලය පිළිබඳ සැලකිලිමත් වූහ. ඔවුන්ගේ ජීවන අර්ථ ක‍්‍රමය ගොඩනැඟී තිබුණේ ගොවිතැන මූලික කර ගනිමිනි. එහිදී ගොවිතැන් කටයුතු සඳහා වැයවන ජලය කෙරෙහි ඔවුන් දැක්වූයේ අසීමිත ඇල්මකි. ඉහළ වටිනාකමකි. සිංහල ගැමි අර්ථ ක‍්‍රමය ජලය රැුස්කර ගැනීම වටා ගෙතුණක් බව මහාචාර්ය රැුල්ප් පීරිස් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ද එබැවිනි. විශේෂයෙන්ම ආදී සිංහල ජන ජීවිතය පෝෂණය කළ ගොවිතැන ගොඩනැඟුණේ වැව මූලික කර ගනිමිනි. 

 වැව සමඟ නිර්මාණ වූ වාරි සංස්කෘතිය වනාහී ගැමි ජන දිවියෙහි කොටසක් බවට පත් විය. පුරාණ සිංහල රජ දරුවන් ද ගොඩනැඟිලි ආදිය ඉදි කිරීමට වඩා වැව් තැනීම සඳහා යොමු වූ බව මහාවංශය, චූල වංශය, රාජාවලිය සහ පූජාවලිය වැනි පැරණි මූලාශ‍්‍රයන් සාක්ෂි දරයි. එමෙන්ම මෙරටට පැමිණි ආර්යයන් සිය ජනවාස පිහිටුවා ගනු ලැබුවේ ද දැදුරු ඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, මැණික් ගඟ, කිරිඳි ඔය වැනි ගංගා නිම්න ආශ‍්‍රිතව ය. පුරාණ සිංහල ගම්මාන පවා බොහෝ විට වැවක් කේන්ද්‍ර කොට ගනිමින් ඉදි වූ බව පැහැදිලි ය. වැව ජන ජීවිතයේ මෙන්ම රටෙහි ස්වයංපෝෂණය උදෙසා ද කළ මෙහෙය අපමණ ය. වැව සහ ගම අතර පවතින අවියෝජනීය බැඳීම මොනතරම් ද යන්න  පැහැදිලි කර ගැනීමට වැඩිදුර යා යුතු නොවේ. ඇතැම් ප‍්‍රදේශවල බොහෝ ගම් සඳහා නම් ලැබී ඇත්තේ ද වැවෙහි නාමයෙනි. නිදර්ශන වශයෙන් කරගස්වැව, දිවුලවැව, මහගල් වැව ආදිය පෙන්වා දිය හැකිය. වැව් බැඳි රාජ්‍යයේ ගමක සැකැස්ම තීරණය වූයේ වැවේ ස්වරූපය අනුව ය. වැව ගමක ඉහළ භූමියක තිබෙන අතර කුඹුර පැවැතියේ පහළ ප‍්‍රදේශයේ ය. වැවත්, කුඹුරත් අතර ප‍්‍රදේශයේ ගම පිහිටා තිබිණි. ඒ අනුව මෙරට ජන ජීවිතයේ ජීවන චක‍්‍රය නිරන්තරයෙන් වැව හා සමීප වෙමින් ගොඩනැඟුණු බව පැහැදිලි කරුණකි. සිංහල සභ්‍යත්වයත් සංස්කෘතියත් පිළිබඳව කතා කිරීමේ දී සිය ජීවිතය පවත්වාගෙන යෑමට විශාල දායකත්වයක් සැපයූ වැව ජන හදවතට සෑම අතින්ම සමීප වී තිබිණි. එහදී කාලගුණික දේශගුණික සාධක මෙන්ම විවිධ අභිචාර විධි ද සංස්කෘතික ජීවන රටාවන් ද සෑම කල්හිම සංස්කෘතිය සමඟ සමීප විණී. එහිදී විකාශනය වෙමින් ආ ගැමි ජන ජීවිතය තුළ තමා ජීවත් වූ පරිසරයෙන් පැන නැඟුණු අභියෝග සහ ඊට ඔහුගෙන් ලද ප‍්‍රතිචාර දඩයමින් ජීවත් වූ වනචාරී ජන ජීවිතයෙන් ඈත් වී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වීමට රුකුලක් වූ අතර එහිදී බෙහෙවින් බලපෑම්කාරී සාධකය වූයේ වැවයි. ඒ අනුව වැව යන්න ගැමි ජන ජීවිතයෙහි වැදගත් සාධකයක් ලෙස බද්ධ විය. 

 ජලකළමනාකරණය වනාහී මෙරට සංස්කෘතියේ ප‍්‍රබල අනන්‍යතාවයකි. ලාංකේය ජන ජීවිතයෙහි ප‍්‍රධාන ආහාරය වන්නේ බත් ය. එකී හේතුව මත මෙරට තුළ ජල කළමනාකරණ සංස්කෘතික රටාවක් ගොඩනැඟිණි. ආර්ථිකය කෘෂිකර්මය මත පදනම් වීමත් ප‍්‍රධාන ආහාරය බත් වීමත් වැව සමඟ සංස්කෘතිය පෝෂණීය වීම කෙරෙහි බලපෑවේ ය. වැවකින් ජලය ලබා ගැනීමේ පිළිගත් සම්ප‍්‍රදායක් මෙරටෙහි විය. ජලය බෙදාහදා ගනිමින් ප‍්‍රයෝජනයට ගැනීමේ විධිමත් සම්ප‍්‍රදාය පිළිබඳ බුද්ධඝෝෂ මාහිමියන් විසින් සිත්බඳනා සටහනක් තබා ඇත්තා හ. සමන්ත පාසාදිකාවෙහි හමුවන එම විවරණය වැවෙන් ජලය ලබාගත යුතු ආකාරය පිළිබඳවත් එය සාධාරණව හෝ අසාධාරණව කළහොත් ඒ ඒ කාර්යයේ හොඳ හෝ නරක අනුව එහි ඵල විපාක විඳිය යුතු ආකාරය පිළිබඳවත් වැටහීමක් ලබා දෙයි. 

 ‘‘සියලූ දෙනාට පොදු යම් වැවක් ඇත්නම් ඒ වැවේ ජලයට සියලූ මිනිසුන්ම හිමිකම් කියනු ලබයි. එයට පහළින් ගොවිතැන් කරනු ලබයි. ගොයමට දිය ඇරීම පිණිස මහ ඇළක් වැවෙන් පිටවී කුඹුර මැදින් ගලායේ නම් එයද ගලා යන කල්හි සියලූ දෙනාට පොදු ය. ඒ මහ ඇළෙන් කුඩා ඇළවල් හරවාගෙන තම තමන්ගේ කුඹුරුවලට දිය ඇතුළු කරවති. ඒ දිය අනුන්ට ගන්නට නොදෙති. නියං කාලයෙහි දිය හිඟ වූ කල්හී පමණක් වාරයෙන් වාරයට දිය දෙති. දිය වාරය පැමිණි කල්හි යමෙක් දිය නොලබයි ද ඔහුගේ ගොයම් මැළවෙයි. එහෙයින් අනුන්ගේ වාරයේ දී අනිකෙක් ගන්නට නොලබයි. යම් කිසිවෙක් අනුන්ගේ කුඩා ඇළෙන් හෝ කුඹුරෙන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ඇළට හෝ දොළට හෝ කුඹුරට හෝ සොර සිතින් දිය ඇතුළු කරවයි ද කැලෑව පැත්තට හෝ ගලා යන්නට සලසයි ද ඔහුට වරද පැමිණෙයි. යම් කිසිවෙක් මගේ දියවරය බොහෝ කලකින් වන්නේ ය. මේ ගොයම ද මැළවෙතැයි අනුන්ගේ කුඹුරට ඇතුළුවන දිය ඒ ඇතුළු වන මඟ වසා තමාගේ කුඹුරට ඇතුළු කරවයි නම් වරදම ය. ඉඳින් ජලය වැවෙන් පිට වන්නට පෙර හෝ අනුන්ගේ ඇළ කටට පැමිණෙන්නට පෙර හෝ ගලා එන දිය අනුන්ගේ කුඹුරට නොපිවිස තමාගේ කුඹුරටම ඇතුළු වන පරිද්දෙන් වියළි ඇළම තැනින් තැන බඳියි ද ජලය නික්මෙන්නට පෙර බැන්ඳා නම් යහපති. පිටවූ පසු බැන්ඳා නම් දඩ ගෙවිය යුතු ය. වැවට ගොස් තමාම සොරොව්ව හැර තමාගේ කුඹුරට දිය ඇතුළු කරන්නාට ද දොසක් නොවෙයි. කවර හෙයකින් ද යත් කුඹුර වැව නිසාම කරන ලද හෙයිනි’’ 

 වශයෙන් එහි විග‍්‍රහ වෙයි. මෙය ජලය පදනම් කරගත් සිංහල වාපි සංස්කෘතියේ එක් පැතිකඩක් පිළිබඳ වැදගත් විස්තරයක් බව කිව යුතු ය. විශේෂයෙන්ම වැව පදනම් කරගත් සිංහල සංස්කෘතිය මඟින් ගෘහ නිර්මාණ, කලා ශිල්ප, සාහිත්‍ය කලා ආදී සියලූ කලා සම්ප‍්‍රදායන් වර්ධනය විණි. සිංහල ජාතියේ ඉතිහාසය ගොඩනැඟීමෙහි ලා හේතු වූ වාරි කර්මාන්තය පිළිබඳ පුරාතන ගැමියා තුළ ඇත්තේ අප‍්‍රතිහත ගෞරවයකි. මෑත අතීතයේ දී ද වැව පදනම් කරගත් ජන වහර මෙන්ම ජන සාහිත්‍ය ගොඩනැඟී තිබීම දැකගත හැකිය. 

 ඔබත් මොබත් ඔබ සොරබොර වැවාණෝ

 අඬා දිය ගලන මහවැලි ගඟාණෝ

 දිය නොසිඳෙයි ඔබ මහවැලි ගඟාණෝ

 නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ 

 ආදී වශයෙන් සිංහල ජනශ‍්‍රැතිය තුළ ජන කවි නිර්මාණය වී තිබීම දැකගත හැකි විණි. ගැමි ජන විඥානය පිළිබිඹු වන ජන කවිය මඟින් වැව හා බැඳුණු හෙළ සංස්කෘතිය විද්‍යාමාන කරයි. ගැමි ජන සාහිත්‍ය තුළින් ගැමියාගේ දරිද්‍රතාවය, ජීවන අරගලය මෙන්ම සෞන්දර්ය කුසලතාවය ද මනාව පිළිබිඹු විය. 

 වැව් ඉස්මත්තේ හේනක් කොටලා රුවට

 වපුරා කුරක්කන් හොඳ හැටි පැසුණ විට

 අටු කොටු පුරවලා අග හඟ නො වන්නට

 කැන්ඳා එමි නෑනේ නුඹ මගේ පැලට 

 කෘෂිකාර්මික ජීවන රටාව ගොඩනැඟුණු මෙරට සංස්කෘතිය පෝෂණය වූයේ විජයාගමනයෙන් ආරම්භ වූ අනුරාධ ග‍්‍රාමය මූලික කර ගනිමින් ඇති වූ නව කෘෂිකාර්මික දියුණුව සමඟින් බව විචාරක අදහසයි. ආදිතම සංක‍්‍රමණිකයන් විසින් ජලය රැුස්කොට පළමුවරට තනනු ලැබූ වැව අනුරාධපුරයේ ඇති වූ බව සිතිය හැකිය. වී වගාවට සුදුසු රජ රට තැනිතලා භූමිය කෙරෙහි ඔවුන්ගේ නෙත් සිත් ඇදී ගියේ ය. මහාවංශයේ දක්වන පරිදි එසේ නිම වූ ආදිතම වැවක් වූයේ ක‍්‍රිස්තු පූර්ව හතරේ දී ඉදි වූ වර්තමානයේ බසවක්කුලම නමින් හඳුන්වනු ලබන වැවයි.’’ 

 මාර්ටින් වික‍්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරන ආකාරයට ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ විජයාගමනය සමග නොව මෙරට තුළ කෘෂිකාර්මික ජීවන ක‍්‍රමය මත පදනම් වූ වැව් සංස්කෘතිය කේන්ද්‍රකර ගනිමිනි. අනුරාධ සෙනෙවිරත්න මහතා සිය පුරාණ සිංහල වාරි සංස්කෘතිය යන කෘතිය තුළ සිංහල සංස්කෘතිය සහ වාරි කර්මාන්තය අතර පවතින සබඳතාවය මෙසේ විග‍්‍රහ කරයි. 

 ‘‘දිවයිනේ බහුතර ජනකාය වූ සිංහලයන්ගේ ශිෂ්ටාචාරය වාරිමාර්ග ක‍්‍රමෝපායන් මත රඳා පැවැතියකි. මේ ක‍්‍රියාදාමය ඔස්සේ ආදී සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශක්‍යතාව මත නිර්මිත වූ මුල් කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ විශිෂ්ට ස්ථාවරයකට පත් විය. මෙම සම්ප‍්‍රදායේ එක් ලක්ෂණයක් වූයේ සිංහලයා සතු වූ සංවර්ධිත වාරි තාක්ෂණික ඥානය වන අතර අනෙක නම් ලෝකයේ විස්මිත නිර්මාණයක් හා එක් බඳු වූ ඔවුන් නිමැවූ බෞද්ධ ස්මාරකයන් ය. ආගමික හා වාරි තාක්ෂණික යන උභයාංගයන් සංගෘහිතව නිපදවුණු මෙම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය නමින් මෙලෙස හැඳින්විය හැකිය. මේ සභ්‍යත්වයෙන් අහේද්‍ය වූ වැව හා දාගැබ සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේතයන් ය.’’ 

 සිංහල වාපි සංස්කෘතිය පිළිබඳ බද්දේගම විමලවංශ හිමියන් මෙසේ සඳහන් කරති. 

 ‘සිංහල සංස්කෘතිය හැඩගැසී ගියෙත්, දියුණුවට පත්වූයෙත් වැව නිසයි. එයට දාගැබ එක් වීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය ඔපවත් විය. හෙළ හැඳියාවේ අංග ලක්ෂණ මේ තුළින් දැකගත හැකිය.’’ 

 වාරි සංස්කෘතිය තුළ ගොඩනැඟුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර, ඇදහිලි, විශ්වාස රැසකි. 

සුම්බරේ බැඳන් හක්මන් වැවේ නැති

පච්චවඩම් බැඳ වෑ කඳු මත නොයෙති

හරක් රංචු වෑකන්දෙන නොදක්කති

නොඑන ගමනවත් වෑකන්දෙන් නොයති

 ඡුටා, හිස්වැසුම් පැළඳ වැව වටේ ඇවිදීම වැවට සිදුකරනු ලබන අගෞරවයක් විය. පච්චවඩම් නැතහොත් රක්ත පැහැ ඉන හැඳ ඇඳ පැළඳගෙන තොවිල්, ශාන්තිකර්ම, දේව පූජා, පවත්වමින් වැව් බැම්ම මතින් ගමන් කිරීම නොකටයුත්තකි. පුණ්‍ය චේතනාවෙන් ආශිර්වාද ලද වැව් දියවර වෙනත් දෘෂ්ටිවාද හා ඇදහිලිවලින් කිලිටි විය යුතු නැත. ගව රංචු වෑකන්ද මතින් ගමන් කරවීම වැව් බැම්ම බිඳී යෑමට හේතු වෙයි. නොඑන ගමන් යෑම හෙවත් මළමිනී වැව් බැම්ම මතින් රැුගෙන යෑම වැවට කරනු ලබන අගෞරවයකි. අතීත ගැමියා තුළ වැව පිළිබඳ පැවැති ගෞරවය මෙකී කවිය තුළින් මනාව පිළිබිඹු වේ. 

 ශ‍්‍රී ලාංකේය සංස්කෘතියෙ ස්වාධීනත්වයට පදනම සකස් වූයේ වැව සහ වී ගොවිතැනෙනි. එමෙන් ම ජලකර්මාන්තය පදනම් කරගත් මෙරට ආර්ථික රටාව මඟින් පන්සල ද පෝෂණය විය. විශාල වැව් තැනූ බොහෝ රජවරු වෙහෙර විහාර ද පූජාකොට ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වසභ රජු ඇළහැර යෝධ ඇළේ ආදායම තිස්ස වඞ්සාමානක විහාරයට පූජාකර ඇත. තවද මින්නේරිය වැව කළ මහසෙන රජතුමා මින්නේරිය දෙවියන් නමින් හැඳින්වූ අතර මින්නේරි සාමි, මින්නේරියේ හත් රජ්ජුරු බණ්ඩාර යන නම්වලින් ද හඳුන්වා දුණි. එමෙන්ම වැව් හා බැඳි දෙවිවරුන් පිළිබඳවත් ඉතිහාසය සඳහන් කරයි. වැව් බැඳි රටට අධිපති දෙවියන් වශයෙන් හඳුනාගන්නේ අයියනායක දෙවියන් ය. වැවට අධිපති දෙවියන් වන්නේ ද අයියනායක දෙවියන් බව සමාජ පිළිගැනීම වේ. අත්තප්පා, මුත්තප්පා ආදී නම්වලින් ද අයියනායක දෙවියන් හඳුන්වන අතර වැව් බැඳි රටෙහි ජනයා වන්නියා බණ්ඩාර යන නමින් ද දමිළ බසින් කයියර් යන නමින් ද අයියනායක දෙවියන්ට ආමන්ත‍්‍රණය කිරීම සිදුවේ. මින්නේරි වැවට අධිපත් මින්නේරි දෙවියන් පිළිබඳවත්, පදවිය වැවට අධිපති පදවි දෙවියන් පිළිබඳවත්, කලා වැවට අධිපති වන සෙනෙවිරත්න බණ්ඩාර, කඩවර දෙවියන් පිළිබඳවත්, නුවර කලාවිය පුල්ලෙයාර් මුත්තා යන දෙවියන් පිිළිබඳවත් ගැමි ජන සංස්කෘතිය විශ්වාස කරයි. ඒ අනුව ශ‍්‍රී ලාංකේය ගැමි සංස්කෘතිය වනාහී වාරි සංස්කෘතියෙන් පෝෂණය වූවකි. විශේෂයෙන්ම ඉහළ ගෞරව බහුමානයට පාත‍්‍රවන වැව වූ කලී සිංහල සංස්කෘතියෙහි විශිෂ්ටතම ජන උරුමයක් වන බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

 

 ආශ‍්‍රිත ග‍්‍රන්ථ සහ මූලාශ‍්‍ර:

 අනුරාධ සෙනෙවිරත්න, සිංහල සමාජය හා සංස්කෘතිය - 1996

 ගුණසිරි වීරසූරිය, සිංහල සමාජය හා සංස්කෘතිය - 2006

 මිලින්ද මායාදුන්න, සංස්කෘතිය (සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශයක්*)- 2019

Post a Comment

0 Comments