to-add

තල් රුප්පාවේ මුනිවරයා - එම්මෑනුවෙල් පියතුමා

 



සුසිල් හෙට්ටිආරච්චි



 එම්මෑනුවෙල් පියතුමා

එස්.ජේ.එම්මෑනුවෙල් මෑත ඉතිහාසයේ මෙරට මෙන්ම ජාත්‍යන්තර තලයේ දී පවා විවිධ මට්ටමේ සාකච්ඡා හා සම්මන්ත්‍රණ වලදි වඩාත් කතා බහට ලක් වන ශ්‍රී ලංකාවේ උතුරු දිග යාපන අර්ධ ද්විපයේදී ජන්මය ලද කතෝලික පූජකවරයෙකි. යාපනයේදිම අධ්‍යාපනය ලද ඔහු 1950 දශකයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හදාරා ගුරුවරයෙකු හා මාධ්‍යවේදියකු ලෙස සේවය කර ඇත. පසු කලෙකදි තමන් තුළින්ම ඇතිවු අවබෝධය හා තෝරා ගැනිම මත යාපනය රදගුරු වසමේ පූජක සාමාජිකයෙකු විය. ඔහු බුද්ධිමතෙකි, ගුරුවරයෙකි, දේව ධර්මාචාර්ය වරයෙකි, සමාජ ක්‍රියාධරයෙකි, මානව අයිතින් හා යුක්තිය වෙනුවෙන් හඬ නගන අපේ කාලයේ දිවැසි වරයෙකි.

මේ මිනිසා පිලිබඳව සමස්ථ ලෝකයම කථා කළ ද මෙරට සිංහල භාෂාව කථා කරන මධ්‍යම පාන්තික ජනතාව දන්නේම නැත. දකුණේ සිංහල කතෝලික සභාව පවා උන්වහන්සේ පිළිබඳව කතා කරන්නේම නැත. එහෙත්, එම සිංහල සමාජයේම ප්‍රභූ හා ඉහළ මධ්‍යම පාන්තිකයෝ නම් මහත් දේ කතා කරති, ප්‍රකාශ කරති. මන්ද කතෝලික පූජකවරයෙකු ලෙස තමන් ගුරුකොට ගත් නාසරතයේ ජේසුගේ ක්‍රියාකාරිත්වයට සාක්ෂි දැරීම සිංහල සමාජයේ අධිකාරවාදි දේශපාලන අභිලාෂයන්ට අභියෝගයක් වන හෙයිනි. ඒ තුළ උන්වහන්සේව මෙරට ජන කණ්ඩායම් දෙකක අවධානයට ලක් වේ. පිරිසකට ඔහු තමන් මුහුණ පා ඇති පීඩිත භාවය ලොව ඉදිරියේ කියාපාන ශබ්දවාහිනියක් බඳුය. තවත් පිරිසකට ඔහු තම දේශපාලන අභිප්‍රායන්ට හා එහි ක්‍රියාකාරිත්වයට අභියෝගයක් වන සාධකයකි. ෆාදර් එස්.ජේ. දේව ධර්මය පිලිබඳව ආචාර්යවරයෙකි. උන්වහන්සේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ ආචාර්ය වරයෙකු ලෙෂ එම කාල වකවානුව තුළ ඔහුගෙන් අධ්‍යාපනය ලද පිරිස් අතර ශ්‍රී ලංකා කතෝලික සභාව තුළ රදගුරුවරු හත් නමක් හා පැවිදි පූජක විශාල පිරිසක් මෙන්ම සමාජය තුළ ද විවිධ ක්ෂේත්‍ර හරහා ජනතා සේවයේ යෙදෙන විශාල පිරිසක් ද සිටිති. එතුමා ආසියානු රදගුරු සම්මේලනයේ දේව ධාර්මික අධ්‍යාපන / උපදේශන කමිටුවේ සාාජිකයෙකු ද විය. 1986 දී ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වූ සම්මේලනයේ දී එස්.ජේ.එම්මානුවෙල් පියතුමා මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ,‘ ආසියානු සභාවන්හි දේවධාර්මික පැතිකඩක් ‘ යන මැයින් ය. එහිදී උන්වහන්සේ අවධානය යොමු කරනු ලැබුවේ කලාපයේ මානව අයිතිවාසිකම් කඩවිම් වලදී ගැඹුරු දේව ධාර්මික මැදිහත් වීමකට ඇති අවැසියාව පිලිබඳවය.

අපට ෆාදර් එස්.ජේ. හමු වන්නේ 1976 දීය. ඒ වන විට අප ලංකා අප ස්වාමිදුවගේ පූජක සරසවියේ දර්ශනවාදය හදාරමින් සිටියෙමු. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරු ව්‍යාපාරය තුළ (ලේකම් සහෝදරයා ලෙස ) ප්‍රචලිතව සිටි අපගේ පියා වූ නිකුලස් හෙට්ටිආරච්චිගේ ආභාෂය නිසාම කුඩා කල සිටම අප ද පීඩිත ජන කොටස් වෙත අවධානය යොමු කිරිමට පෙළඹී සිටියෙමු. කුඩා දරුවකු ලෙස 1958 දෙමළ විරෝධී ප්‍රහාරයේදී අත්දුටු එම සිද්ධීන් මෙරට දෙමළ ජනයා මුහුණ දෙන විවිධ වූ ප්‍රශ්න වෙත අපගේ දැඩි අවධානය යොමු විමට හේතුවූවා පමණක් නොව ඔවුන්ගේ අයිතින් පිලිබඳව සොයා බැලිමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් පෙළඹිණ. ඒ තුළ ඓතිහාසිකව සුළු ජන කොටසක් වූ දෙමළ ජන කණ්ඩායම් පිලිබඳව අධ්‍යයනයන් ද කරන ලදි.

දශක ගණනාවක කාල පරාසයක් තුළ යටත් විජිත ජනතාවක් ලෙස සැබෑවූ ජනතා අරගලයකින් තොරව නිදහස අප මතට පාත් විය. එලෙස ලද නිදහස දිවයින තුළ ජිවත් වන ජන කණ්ඩායම් තුළ ඇති බහුවාදී තත්ත්වයන් හඳුනාගෙන එක්සත් රාජ්‍යයක් ලෙස ස්ථාපිත විමට අපට නො හැකි විය. ඒ තුළ තම ජාතින්ගේ අනන්‍යතාවන් හඳුනාගෙන ඒ ඒ ජන කණ්ඩායම් වල සමාජ, ආර්ථික හා දේශපාලන අභිලාෂයන්ට උචිත වන ආකාරයේ පාලන සැකැස්මක් සම්පාදනය කර ගැනිමට ද අපි අපොහොසත් වූයෙමු. එහි අනිසි ප්‍රතිඵලය වූයේ සුද්දා රට හැර ගොස් දශකයක් ගතවිමටත් පෙර එක් ජන කොට්ටාශයක අභිලාෂයන් පසෙක දමා කටයුතු කිරිමට යෑම හේතුවෙන් වර්ෂාධික කාලයක් එකට සිටි ජන කණ්ඩායමකට එරෙහිව තවත් ජන කණ්ඩායමක් විසින් බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදි. එතැන් සිට ඒ ඒ ජන කණ්ඩායම් තුළ එකිනෙකා පිලිබඳව සැකය හා බිය ස්ථාපිත විය.

නිදහසින් පසු ජනතාවගේ අභිලාසයන් හඳුනා ගෙන කටයුතු නොකිරිම හේතුවෙන් බහුතර සිංහල සමාජය තුළ මොදු වෙමින් පැවති ආතතිය හඳුනා ගෙන ඒ තුළින් බලය ලබා ගනු සඳහා, එස්.ඩබ්:ආර්.ඩී.බණ්ඩාරනායක විසින් 1956 දී දේශපාලන බල ව්‍යාප්තියක් ලෙස මෙරට සුළු ධනේශ්වර සමාජ ස්ථර වලින් හ”ුනා ගත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන වාසගම් වලින් බෞතීස්ම කොට බල ගැන්වූ දේශපාලන බලවේගය අන්තවාදී සිංහල බලයක් විය.

වමේ කාර්ය භාරය

බහු වාර්ගික රටක් ලෙස යටත් විජිත පාලනයට එරෙහිව බිම් මට්ටමේ වැඩබිම් වල ජනතාව පෙළගැස්වීම සාර්ථකව කිරිමට මෙරට වාමාංශික ව්‍යාපාරයට හැකි විය. එසේම සිංහල, දෙමළ. මුස්ලිම්, මැලේ හා බර්ගර් යන ප්‍රධාන ජන කණ්ඩායම් එකට තබා ගැනීම වමේ වයාපාරය විසින් අති සාරථකව කර ගන්නා ලදි. එම ක්‍රියාදාමයට ධනපති වරප්‍රසාද ලත් සිංහල හා දෙමළ නායකයන් අකුල් නොහෙලා කටයුතු කලේ නම්, වත්මනේ අපට මුහුණ දීමට සිදුවී ඇති වාර්ගිකව බෙදී වෙන්ව ජීවත් විම සඳහා වූ අරගලයට මෙරට කණ්ඩායම් කිසිදා නොපෙළඹෙනු ඇත. 

එහෙත් සිදු වූයේ  30 හා 40 දශක වලදී මෙරට දේශපාලනය තුළ වමේ ව්‍යාපාරය වටා ගොනු වෙන කම්කරු හා පිඩිත පන්තියේ බලය ඉදිරියේ තැති ගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ධනපති දේශපාලන බලවේග,  භාෂා හෝ ජාති භේදයකින් තොරව ජාතියේ එක්සත් භාවයට පළමු මරු ප්‍රහාරය එල්ල කළේ 1947 දීය. එනම් වමේ දේශපාලනයේ ප්‍රධාන මර්මස්ථානයක් වූ වතුකරේ දෙමළ ජනතාව කේන්ද්‍ර කර ගෙනය. ආණ්ඩුව ඉදිරිපත් කළ ඉන්දු පාකිස්ථාන්  පුරවැසි පනත හරහා ඔවුන්ගේ අරමුණ වූයේ තේ කර්මාන්තයේ යෙදි සිටි දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කර දැමිමත් එමගින් රට තුළ ගොඩනැගෙමින් තිබූ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කර දැමීමය. 

    ඒ වන විට  ෂන්මුගදාසන් වැනි රැඩිකල්වාදී වාමාංශිකයන් විසින් උතුරේ පහත් කුළ යයි සම්මත  පීඩිත ජන කණ්ඩායම් වමේ බලයක් සඳහා ඒකරාශි කර ගනිමින් සිටියහ. එයට එරෙහිව පොන්නම්බලම් රාමනාදන් සොහොයුරන් විසින් සිංහල ධනපති කණ්ඩායම් හා එක්ව උඩරට දෙමළ ජනතාවට එරෙහිව ඡන්දය පාවිච්චි කොට පනත සම්මත කර ගන්නා ලදි.

1958 ජාතික භාෂාව සිංහල පමණක් යන සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයේ ඝෝෂාව ඉදිරියේ දෙමළ ජනතාවගේ භාෂාවේ හා දේශපාලන අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනි සිටියේ ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය පමණි. එහිදී වමේ හඩ කොල්වින් ආර් ද සිල්වා හරහා ජනගත කරන ලද්දේ එක් භාෂාවක්  රටවල් දෙකක් භාෂා දෙකක් එක් රටක් යන දිවැසි වැකිය හරහාය. එහෙත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොම්පදෝරු ධනේශ්වරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ වමේ හඩ යටපත් කලද ඔවුන් ප්‍රකාශ කළ සත්‍යය 80 දශකය වෙද්දී වාර්ගික යුද්ධයකට අවතීර්ණ වීමත් සමග සපථ විය.

එලෙස සමස්ථ ලාංකීය සමාජය වෙනුවෙන් පෙනි සිටි වමට එරෙහි සිංහල ධනපති / සුළු ධනේශ්වර ප්‍රහාර හමුවේ තමන් සතු ජන පදනම තුළ සිටිමින් සැබෑ අරගලයන් වෙත අවතීර්ණ වෙනවා වෙනුවට මෙරට වම තම අක්මුල් සිඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට මුක්කු ගැසීම සඳහා සභාග දේශපාලනයට ඇදී යාමය.

එහි ප්‍රතිඵලය මෙරට වාමාංශික ව්‍යාපාරය භුක්ති විඳ අවසන්ය. මෙහිදී අප දුටු ඛේදවාචකය වූයේ මේ වන විට බෝඩ් ලෑල්ලකට පමණක් සිමා වූ වියපත් වාමාංශික නායකයන් කීපදෙනා මෑතකදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතා විරෝධී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම තුළම වමේ ඛේදවාචකය සටහන් වී ඇති ආකාරයයි.

දෙමළාට එරෙහි දෙමළා

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය බවට පත්ව ඇති වාර්ගික අර්බුදය පිළිබඳව කථා කිරීමේදී එකිනෙකට බැඳී ඇති ඓතිහාසික කාරණාවක් වන කුළ පීඩනය පිලිබඳවද කථා කළ යුතු වැදගත් කාරණාවකි. 

සිංහල හා දෙමළ ජනවර්ග දෙකම ඉතිහාසය පුරාම මෙම පීඩනයෙන් බැට කෑහ. ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් විමෙන් පසුව ස්ථාපිත වූ මිෂනාරි අධ්‍යාපනයේ බලපෑම මත සිංහල සමාජය තුළ ඇතිවූ පරිවර්තනය සමගින් ක්‍රමයෙන් සිංහල සමාජයේ මෙම අගතිගාමි සමාජ පීිඩනය බොහෝ දුරට දුර්මුඛව ගිය ද දෙමළ සමාජය මේ වන තුරුම එයින් පීඩාවට පත් වෙයි. 

වාර්ගික අර්බුදය හා ඒ ආශ්‍රිතව ගොඩනැගුණු යුද්ධයම වටපිටාව තුළ එය යටපත්ව ගිය ද එහි පීඩනයෙන් දැනට ද මෙරට දෙමළ සමාජය බැටකයි.

ආචාර්ය එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමා ප්‍රකාශ කරන පරිදි දෙමළ සමාජය සිංහල බෞද්ධ අධිකාරිවාදයට එරෙහිව සටන් කිරිමට පෙර වඩා බලවත් ලෙස අරගල කළ යුත්තේ දෙමළාට එරෙහිව දෙමළා විසින් අනුගමනය කරන කුල පීඩනයට එරෙහිව බවයි. සැබවින්ම යටත්විජිතවාදීන්ගේ පාලන කාලය තුළදී පවා පීඩිත දෙමළ ජනතා අරගලය වර්ධනය වූයේ වෙල්ලාල කුලයට එරෙහිවමිස සිංහලනොවෙිය. යාපනය අර්ධ ද්වීපයේ කේන්ද්‍රගතව වර්ධනය වු කතෝලික ක්‍රිස්තියානි සමයන්ගේ වර්ධනයත් සමග සාම්ප්‍රදායික පිඩිත කුල වල සාමාජිකයන් තුළ ගොඩනැගුණු ආධ්‍යාත්මික ශක්තිය නව ජවයක් හා උත්තේජනයක් සහිතව ගොඩනැගුණු මහා බලයක් විය. එයට ශක්තිය හා බලය සැපයුවේ ඇමරිකන් මිෂනාරි අධ්‍යාපන පද්ධතිය බව නොරහසකි. ඒ අතර දෙමළ ඉතිහාසඥයකු වු ගරු ඥානප්‍රකාශම් පියතුමා දැඩි ලෙස කුලවාදයට එරෙහි වූ අතර උන්වහන්සේ විසින් පිඩිත කුල වල ජනයා වෙනුවෙන් ගම්මින 30, 40 ක පමණ දේවස්ථාන හා ඒ ආශ්‍රිතව පාසල් පද්ධතියක් ද ඇතිකරන ලදි.

එහිදී දැඩි හින්දු මූලධර්මවාදියකු වූ ආරුමුගම් නාවලර්ගේ හින්දු පුනර්ජීවන වයාපාරය හා 1920 දී පමණ පොන්නම්බලම් රාමනාදන් ගේ ලාංකික සමාජය තුළ කුල ක්‍රමය නීතිගත කරන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිම තුළ ගැබ්වී තිබුනේ දෙමළ සමාජය තුළ ගොඩනැගෙමින් තිබූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා රැල්ල නවතා තැබීමටය. එහෙත් කතෝලික ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රමය තුළ සැම දරුවකුම දෙවියන් වහන්සේගේ සමානකමට මවන ලද උතුම් මනුෂ්‍යයකු ලෙස සමානව සැළකිම තුළ ඔවුන්ගේ ව්‍යායාමය අඩපණ විය.

1949 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක පළාත් පාලන ඇමතිවරයා  ලෙස යාපනයේ නගර සභාවේ වපසරිය පුළුල් කර මහා නගර සභාවක් බවට පත් කිරීමේ යෝජනාවට එරෙහිව අවි එසවූයේ එහි සිටි කුලවන්තයන් ලෙස හඳුන්වා ගත් පිරිස්ය. මන්ද, එමගින් අඩු කුලවල ජනයා ජීවත් වන ප්‍රදේශ වලින් ඔවුන්ගේ නියෝජිතයන් සභාවට පත්වීම වළක්වා ගැනිමටය.

ඒ අතර 1950 දී අඩු කුල වලට අයත් ජනයා වෙනුවෙන් වෙනම නියෝජනයක් ලබා දීමට යෝජනා කිරීමත් සමග වෙල්ලාල කුලයට අයත් ප්‍රභූන් ඇතුළු පිරිස් තම බලය පවත්වා ගැනීමට මං සොයමින් සිටියේය. 1957 දී සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත වීමත් සමග පහත් කුල වල සාමාජිකයන් සඳහා වසා තිබුණු කෝවිල් වල දොර අගුළු විවර විය. එයට එරෙහි වූ සී.සුන්දරලිංගම් නම්වූ කුලවන්තයෙකුට එරෙහි නඩුවකදී දඩයක් පවා ගෙවීමට සිදු විය. 

එලෙස තම වර්ගයාගේම පීඩනයට ලක්ව සිටි දෙමළ ජනයා කිසි විටෙක උඩරට සිංහලයන් ලෙස  වෙනම ජන කණ්ඩායමක් ලෙස හඳුන්වා ගෙන වෙනම රාජ්‍යයක ජීවත් වීමට අකමැති වූහ. උඩරට සිංහලයන් වෙනම රාජ්‍යයක් ඉල්ලන විට උතුරු නැගෙනහිර දෙමළ ජනයා ප්‍රකාශ කළේ ලාංකික අනන්‍යතාවක් සහිතව එක්සත් රාජ්‍යයක පුරවැසියන් ලෙස ජීවත් වීම ඔවුන්ගේ අභිලාෂය බවයි. කෙසේ නමුත් දෙමළ සමාජය තුළ ගොඩ නැගෙමින් තිබූ සමාජ සාංස්කෘතික පරිවර්තනයන් හා වෙල්ලාල වරුන්ට පමණක් සීමා වී තිබූ බල අධිකාරිය ක්‍රමයෙන් තර්ජනයට ලක් වෙද්දී වික්ෂිප්ත භාවයට පත් නායකයන්, එල්ලීමට පිදුරු ගහක් හෝ සොයමින් සිටි අවස්ථාවේදී දකුණේ සිංහල සමාජය තුළ ගොඩ නැගෙමින් තිබු සමාජ දේශපාලනය ඔවුන්ට වෙස්වලා පැමිණි ආශීර්වාදයක් ව්ය. 

1958 දී භාෂා පනත හරහා ගත් දේශපාලන තීන්දුව තම වාසියට හරවා ගත් ප්‍රභූ දෙමළ නායකයන් එය සමස්ථ දෙමළ විරෝධයක් බවට ජනතා සිත් සතන් තුළ පැල පදියම් කරලීය. මේ වන විටද සිංහල සමාජය විසින්ම සඵත කර ඇත්තේ ද එම දෙමළ නායකයන්ගේ අදහසමය.

බහුත්වවාදී ලංකාව සිංහලකරණය වේ.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක තම දේශපාලන බල ව්‍යාප්තියේ අංක එක ට ගනු ලැබුවේ සිංහල භාෂාව පැය 24 ක් ඇතුළත රාජ්‍ය භාෂාව බවට පත් කරන ප්‍රතිඥාවය. එම ක්‍රියාදාමය තුළ සමස්ථ දිවයිනම සිංහලකරණයට ලක්වූ අතර එයින් පරිබාහිර වූ සියලු ජන කණ්ඩායම් වලට බරපතළ ගැටළු වලට මුහුණ දිමට සිදු විය. ඒ තුළ ඔවුන්ගේ සමාජ ආර්ථිකයන් බිඳ වැටුණු අතර අධ්‍යාපනය ද කඩා කප්පල් විය. මෙම ක්‍රියාදාමයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේ දෙමළ භාෂාව කථා කරන දෙමළ හා මුස්ලිම් ජනතාවත් රටපුරා විසිරී සිටි බර්ගර් වරුනුත් ය. එහි අනිසි ඵලය වූයේ මෙරට බුද්ධිමතුන් ලෝකයේ වෙනත් රාජ්‍යයන් කරා සංක්‍රමණය වීමය. ඒ තුළ ලාංකීය සමාජයට අහිමි වූ බුද්ධිමතුන් මෙන්ම  මයිකල් ඔන්ඩච්චි වැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්තෘ වරුන් ද බොහෝය. ඔවුන්ගෙන් හිස් වූ නිලධාරි තන්ත්‍රයට බොහෝ විට පත් කරනු ලැබුවේ නිවැරදි දැක්මක් සහිත බුද්ධිමතුන්ට වඩා වඳ පිදුන, වැඩ බැරි් එහෙයියන්ය.

එසේම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මෙරට පුරවැසියන් ලෙස තමන්ට හිමි විය යුතු භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ අරගල කිරිමට පෙළඹිණ. ඒ අතර සුද්දා විසින් මෙරට යාන වාහන සඳහා හඳුන්වා දි තිබූ ඉංග්‍රීසි අක්ෂරය වෙනුවට ‘ ශ්‍රී ‘ අක්ෂරය හඳුන්වා දිමත් සමග ඇතිවූ ජනතා කැරැල්ල රුධීර ගංගා ගලා යන ක්‍රියාවලියක් විය. එසේ පීඩිතයින්ගේ රුධීර ගංගාවන්හි පිහිනා ගොස් ‘ ශ්‍රී ‘ අක්ෂරය ස්ථාපිතකළ එම පාලකයෝම පසු කලෙක ඔවුන් විසින්ම ඉවත් කළ ඉංග්‍රීසි අක්ෂරය යළිත් වැළඳ ගති. මෙහිදී යුක්ත සහගත මිනිසුන් ලෙස අප ඇසිය යුත්තේ මෙම අක්ෂර සිද්ධියේදී මරා දැමූ හා ප්‍රහාරයට ලක් කළ මිනිසුන්ට මෙම පාලකයන් විසින් ගෙවනු ලබන ව්දිය කුමක්ද යන්නයි.

මෙම කාරණයේදී ජුගුප්සාජනක සිද්ධිය වන්නේ 1915 දී ලංකාවේ වාර්ගික සංයුතිය හා එක්සත් රාජ්‍යයක් ලෙස පැවතිමට නම් අනුගමනය කළ යුතු දේශපාලනමය ක්‍රියා මාර්ගයන් පිලිබඳව විවෘතව කරුනු දැක්වූ හා අදහස් ප්‍රකාශ කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින්ම තමන්ගේ දැක්ම තමන් විසින්ම පාවා දෙමින් තම අධ්‍යාත්මයට කරගත් හානිය හා ඊටත් වඩා සමස්ථ රටටම කළ අපරාධය අතිශයින්ම නින්දා සහගතය. බලයම තම ඒකායන පරමාර්ථය කරගත් ඔහු තම අධ්‍යාත්මික වටිනාකම පසෙක ලා කටයුතු කිරිම නිසාම රට තුළ ඇති කරනු ලැබූ ජාතික තුවාලය විසින් කරන ලද විනාශය මේ දක්වා සුවපත් කළ නොහැකි පිලිකාවක් බවට පත් වෙමින් මානව ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

මෙහිලා කම්පනයට පත්වූ රිදුනු, බිඳුනු දෙමළ ජනතාවගේ පක්ෂයේ සිට ඔවුන්ගේ හදගැස්ම කියවා ගත හැකි නම් වඩා යථාර්තවාදී පිළිතුරක් සොයා ගත හැකි වේයැයි හැඟේ.

1950 දශකයේදී මෙරට පාලකයන් විසින් ජනමත විචාරණයන්ගෙන් තොරව  ගනු ලැබූ අදූරදර්ශී සමාජ දේශපාලන තීන්දු තීරණ විසින් ඇතිකරනු ලැබූ බරපතළ හිඩැස් තුළ ගොඩනැගුණු සමාජ ආර්ථික අර්බුදයන් ක්‍රමයෙන් ලියලා වැඩෙද්දී බහුතරයේ සිංහල දරුවන් හට තමන්ගේ අනාගතය පිලිබඳව සැක සංකා පහළ වෙමින්  තිබුණි. ඒ අතර ඔවුන් දුටුවේ රට තුළ සියලු සම්පත් එක් පිරිසක් විසින් උපරිමයෙන් භුක්ති විඳිද්දී බහුතරය පීඩිත භාවයේ පතුළට කිඳා බසිමින් සිටිනා අයුරුය. ගොඩනැගෙමින් තිබූ අසාධාරණ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියට එරෙහිව ගොළුවන් බිහිරන් සේ සිටීමට ඔවුන් සූදානම් නොමැති බව ප්‍රකාශ කරනු ලැබුවේ 1971 තරුන කැරැල්ල මගිනි. හුදු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම යන පාිඨයට මුවා වී තරුණ කැරැල්ල මර්ධනය කල රජය සිංහල බෞද්ධ බහුතරය සනසන (රැවටිම) අරමුණින් 1972 දී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ලියවිල්ලක් ඉදිරිපත් කරන ලදි.

ඉතිහාසය පුරාම ජනතාවගේ සමාජ ආර්ථික දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි වාම ව්‍යාපාරය ද මෙරට සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයේ ජාති ආගම්වාදී බල අරගලයට බිලි පූජාවක් විය. ( දංගෙඩියට බෙල්ල තබන ලදි. මේ වන විට මෙරට වාමාංශික ව්‍යාපාරය එහි ප්‍රතිඵල භුක්ති විඳ හමාරය.) එහිදී කොල්වින් ආර් ද සිල්වා වැනි වාමාංශික නායකයකු මගින් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ යෙදුම් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ සිංහල බෞද්ධ රාජ්‍යය හා බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසින් බෞතීස්ම කිරීම තුළ සිදු වූයේ භාෂා ප්‍රශ්නය තුළ කොන් කළ දෙමළ හා අනෙකුත් සුළු ජාතීන් දෙවන පන්තියේ ජන කණ්ඩායම් බවට පත් කිරීමය.

එයට විකල්පයක් ලෙස දෙමළ දේශපාලනය ඉතිහාසය පුරා ලාංකික අනන්‍යතාවක් සහිතව ජීවත් වීමේ මූලික පරමාර්ථයෙන් පරිබාහිරව වටකොට්ටේ ප්‍රඥප්තිය හරහා වෙනම රාජ්‍යයක් සඳහා අත්පොත් තබන ලදි. එතැන් පටන් ලාංකීය ජාතිය එකිනෙකා දෙස සැකයෙන් බැලීම ඇරඹිණ. 

දෙමළ විරෝධය ජාතික න්‍යාය පත්‍රයට ඇතුළු වෙයි

1970 දශකය ලාංකික සමාජයට ඉතා වැදගත් කාල පරාසයකි. තමන්ට හිමි සමාජයීය ස්ථාවරය අහිමිව ගියකල මිනිසා ස්වභාවයෙන්ම අරගලකාරී මාර්ග වලට අවතීර්ණ වෙයි. එයට හොඳම නිදසුන මෑත ඉතිහාසයේ අප අත්දුටු ඒ 1971  තරුණ කැරැල්ලිය. මූලාශ්‍ර නොමැති තරුණ කැරැල්ලක් ලෙස අර්ථ දක්වා රජය කැරැල්ල මැඩ පැවැත්වීය. එහිදී ලංකාවේ වාම ව්‍යාපාරය සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් වූ සෝවියට් රුසියාව හා චීනය තම විප්ලවීය අධ්‍යාත්මය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු ධනේශ්වර සිංහල බෞද්ධ බලය ඉදිරියේ උකටලී විය. බහුතර සිංහල බෞද්ධයා රවටා තම දේශපාලන අභිප්‍රායයන් මුදුන්පත් කර ගැනීමේ යෙදී සිටි සිංහල බෞද්ධ රා්‍යය 1972 දී මෙරට බහු වාර්ගික සමාජ යථාර්ථය පසෙක ලා සිංහල බෞද්ධයා සතුටු කරනු වස්, බෞද්ධාගම රාජ්‍ය ආගම ලෙසත්, එය සුරක්ෂිත කොට පෝෂණය කිරිම රාජ්‍ය යුතුකමක් ලෙසත් ව්‍යවස්ථා ගතකරන ලදි.

1958 දී රාජ්‍ය භාෂා පනත යටතේ කොන්කර දමන ලද මෙරට දෙමළ ජනතාව යළිත් වරක් මෙම ව්‍යවස්ථාව යටතේ දෙවන ගණයේ ජන කණ්ඩායමක් ලෙස ඔවුන් හඳුනා ගති. ඊට ප්‍රතිචාර දක්වමින් 1976 දී වටකොට්ටේ ප්‍රඥප්තිය සම්මත කරගත් දෙමළ පාර්ශ්වය උතුර නැගෙනහිර සඳහා යෝජනාවක් ජනගත කරන ලදි. ඊට අමතරව ආණ්ඩුව ක්‍රියාත්මක කළ මිනිස් අයිතිවාසිකම් අභිබවා යන සංවෘත ආර්තික න්‍යාය පත්‍රය සමස්ථ රටම අර්බුදයකට ගෙන යන ලදි.

මෙම ක්‍රියාදාමයන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ 1977 දී හයෙන් පහක බලයක් සහිතව ජේ.ආර්.ජයවර්ධන බලයට පත් වීමයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාම ව්‍යාපාරය අන්ත අසරණ භාවයට පත් විය. 1977 අගෝස්තු මාසයේදී ආණ්ඩුව තුළ ගොනුව සිටි සිරිල් මැතිව් වැනි සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ නායකත්වයෙන් යුතු සිංහල බෞද්ධ මූලධර්මවාදීන් විසින් උඩරට දෙමළ ජනයාට එරෙහිව ප්‍රහාර දියත් කළේය. අසරණ භාවයට පත් වතුකරයේ දෙමළ ජනයා ආරක්ෂාව පතා උතුරු වන්නි ප්‍රදේශ වලට සංක්‍රමණය වීම ඇරඹිණ. ඒ වනවිටත් දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටි ගාන්ධියන් සංවිධානය විසින් උඩරටින් පලා එන දෙමළ ජනතාව වන්නි ප්‍රදේශයේ විවිධ ස්ථාන වල පදිංචි කරවන ලදි. ඒ අතර 1978 දී විධායක බල සහිත ජනාධිපතිවරයකු යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදි. එය රජය වටා ගොනුව සිටි සුළු පිරිසකගේ සිතැඟි පරිදි වන ලියවිල්ලක් මිස පොදුවේ ජනතාවගේ අභිප්‍රායයන් සඵත කරගත හැකි ලියවිල්ලක් නොවීය. 

එවන් පසුබිමක උතුර ගිනියම් වෙමින් තිබුණි. හයෙන් පහක බලයක් සහිත විධායක ජනාධිපති වරයෙක් යටතේ හෝ 1950 දශකයේ සිට දෙමළ ජනතාව පෙළෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට දේශපාලන විසඳුමක් ලබා දෙනු වෙනුවට ජයවර්ධන ආණ්ඩුව  බූල් වීරතුංග වැනි හමුදා ප්‍රධානීන් මගින් උතුරුකරයට මර්ධනය දියත් කරන ලදි. ඒ අතර 1981 පැවැති උතුරු සංවර්ධන සභා ඡන්දය පවත්වන මුවාවෙන් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කොල්ලකෑහ. එතැනින් නො නැවතුණ ආණ්ඩුව තම සිංහල බෞද්ධ මැර කල්ලි උපයෝගි කර ගනිමින් ආසියාවේ ඥන ගබඩාව ලෙස සැලකූ යාපනයේ මහජන පුස්තකාලය ගිනි තබා වනසා දැමීය. එහිදී දැවී අළුවී ගිය පොත් අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා කලාව පිළිබඳව ආනන්ද කුමාරස්වාමි හා ආචාර්ය අයිසෙක් තම්බයියා විසින් රචිත ලේඛණ හා කලා කෘති සමස්ත ජාතියට හා ශීලාචාර ලොකයාට අහිමි කර දැමිමට තරම් මේ ම්ලේච්ඡයන් විසින් කටයුතු කරන ලදි. එසේම අයද තාරකායි නමින්  20 ව සියවසේ බිහිවූ මිෂනාරි ිවරුන් විසින් සම්පාදිත ද්විභාසා ග්‍රන්ථය ද විනාශ වී ගියේය.එම මානව විරෝධී ක්‍රියාව ඉදිරියේ හදවත පැළී ප්‍රාණ පරිත්‍යාගි වූ ගරු ඩේවිඩ් පියතුමා දෙමළ ජනතාවගේ නිදහස් අරගලයකට ප්‍රාණ වායුව සැපවූවේය යනු එම ජනතාවගේ විශ්වාසයයි. (ලියුම්කරු මෙම පුවත ඇසූ විගසින් යාපනයට ළඟා වූ අතර ඒ වන විටත් දුම් රොලු නගමින් ජාතිය සතු අධ්‍යාත්මය දැවෙමින් තිබුණි. දැවීගිය පොතක ඉතිරිව තිබූ කොටසෙහි මෙලෙස සඳහන්ව තිබුණි.  ර්‍ණ ෂ ්ප එසරුා”  - මා හට වෙහෙසයි )

ඊට අමතරව ආණ්ඩුවේ මැර කණ්ඩායම් ඊලනාඩු මුද්‍රණාලය ඇතුළු ව්‍යාපාරික ස්ථාන මෙන්ම දෙමළ සමාජයේ ජනතා සම්භාවනාවට පාත්‍රවූ කවීන්, සාහිත්‍යධරයන් වැන්නන් සිහිකර ඉදිකර තිබූ පිළිරූ සියල්ල කඩා බිඳදමා තිබූ අතර යාපනය නගරය යකුන් නැටූ දෙවොල පොලක ස්වභාවය ඉසිළීය. ජනයා බියෙන් තැති ගෙන තිබුණි. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය ඒ වන විටත් අවි දරමින් සිටි තරුණ දරුවන් පොලීසිය හා සන්නද්ධ හමුදා ඉලක්ක කර තැන තැන ප්‍රහාර එල්ල කළ අතර බැංකු මංකොල්ලකෑම් කිහිපයක් ද කළහ. රජය ද තම මර්ධනය වඩාත් වේගයෙන් දියත් කරමින් සිටියහ. 

උතුර එසේ ගිනි ගනිද්දී රජය ජනමත විචාරණයක් ලෙස නම් කළ මැතිවරණයක් පවත්වා අතිශය වංචනික ලෙස මහා මැතිවරණය කල් දමා ගති. එයට එරෙහිව දකුණේ දේශපාලනය හා සමාජ සංවිධාන අධිකරණයේ පිහිට පතත්‍්දී ආණ්ඩුව උතුරේ සිදු වූ සිද්ධියක් දඩමීමා කරගෙන 1983 ජූලි මස 25 වැනි දින දිවයින පුරා ජීවත් වූ දෙමළ ජනතාවට එරෙහිව මැර ප්‍රහාරයක් දියත් කරන ලදි. ඉතාමත්ම සංවිධානාත්මකව සැලසුම් කර තිබූ එම ප්‍රහාරය දෙමළ ජනතාවගේ නිවාස සොයමින් ඒවා ගිනිබත් කර දුටු දුටුවන් මරා දමමින් රටපුරා සැරිසරද්දී ආණ්ඩුව නිදි වැදී සිටියේය. 

කුරුණෑගල දියෝකීසියේ හිටපු රදගුරු ගරු ලක්ෂ්මන් වික්‍රමසිංහ හිමිපාණන් විසින් ජනාධිපති වරයාට කරන ලද බලවත් දෝෂාරෝපනය ඉදිරියේ පමණක් ඔහු නින්දෙන් අවදිවූවා සේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට පටන් ගති.

ජූලි කලබලයේ වගකීම වාමාංශික දේශපාලන පක්ෂ වෙත බැර කළ ජයවර්දන ජනාධිපති වරයා නව සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර සිරභාරයට ගැනිම ඇරඹීය. ඒ අතර මෙම සිංහල දේශප්‍රේමය වැළඳගත් මැර කල්ලි සිංහල සිනමාවේ කේන්ද්‍රස්ථානයක් වූ හැඳල විජය චිත්‍රාගාරය අළු බවට පත් කළහ. ඒ වනවිට එහි රක්ෂිතව තබා තිබූ සිනමා දළ සේයාපට සියල්ල විනාශ විය. මෙහි අතිශය ඛේදජනක සිද්ධිය වන්නේ ‘ කළු දිය දහර ‘ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ජාතියට අහිමි වීමයි. එතැනින් නතර නොවූ මේ අසමජ්ජාති පාපතරයන් විසින් මාතෘ භූමියේ සංගීත කලාවට මහා දායකත්වයක් ලබා දුන්  ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ ආර්. රොක්සාමිගේ නිවස ගිනිබත් කර උන් හිටි තැන් අහිමි කරන ලදි. ඔවුන්ගේ ඊළඟ ගොදුර බවට පත් වූයේ බුද්ධාලම්බන ප්‍රීතිය අප වෙත රැගෙන ආ ‘ ශ්‍රි පතුල ‘ චිත්‍රපටය නිපදවූ වෙන්කට් කලා කරුවා පණ පිටින් පුළුස්සා දැමීමය. ඒ තාක් තිරගත කර නොතිබුණු  ධර්මසේන පතිරාජගේ ‘ සිර මැදිරිය ‘ චිත්‍රපටය ද ගින්නේ දමා පුළුස්සා දමන ලදි.

දින කීපයකට පසුව අසරණ භාවයට පත් දෙමළ ජනතාව නැව් වලින් යාපනයට ගෙනැවිත්, ආණ්ඩුව ඒ ජනතාවට ඉඟි කළේ දෙමළ රටට ඔවුන්ව යැවූ බවයි. එතැන් සිට ඇරඹි දුර්දාන්ත යුද්ධය සමස්ථ දිවයින පුරා ඇවිලී යාම ආරම්භ විය. උතුරේ ජනතාවට විවිධ ආර්ථික සම්බාධක පැවතිණි. තෙල්, ආහාර හා බෙහෙත් පවා එහි යැවීම නතර විය. කරුණු කාරණා මෙසේ වෙද්දී දෙමළ විමුක්ති කොටි සංවිධානය අන් සියලු දෙමළ දේශපාලන සංවිධාන අක්‍රිය කර තම අණසක සමස්ථ උතුරුකරය පුරා පතුරුවා හැරීය.

එස්.ජේ.එම්මෑනුවෙල් හඬ කරලියට

දිනෙන් දින ඉහළ යන එදිරිවාදිකම් හා රජයේ තහංචි මත සමස්ථ උතුරු අර්ධ ද්වීපයේම ජනතාව දුකින් දුකට පත් වෙමින් සිටියහ. ගුවන් හමුදාවේ යානා මගින් පතිත කරන ලද බැරල් බෝම්බ ඉබාගාතේ පතිත වෙද්දී ගහකොළ හරකබාන පමණක් නොව මිනිසුන් ද තැන තැන මිය යමින් තිබුණි.

ඒ අතර 1995 ජූලි මස 09 වැනි දින උත්සන්න වෙමින් තිබු ගැටුම් හමුවේ තැතිගත් ජනයා පල්ලි හා කෝවිල් වලට ආරක්ෂාව පතා ගොනු වෙමින් සිටියහ. පුකුරා වර්ගයේ ප්‍රහාරක යානා වලින් බෝම්බ හෙලමින් තිබුණි. ඒ වනවිට නවාලි හි ශාන්ත පේදුරු පාවුලු දේවස්ථානය තුළ ජනයා රැකවරණ පතා එක් රොක් වී සිටියහ. එක් වරම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානාිවක් පල්ලිය මතට බෝම්බ හෙලීම ඇරඹීය.  එයින් එම ස්ථානයේදීම ගැහැනුන් හා ළමයින් ඇතුළු 65 දෙනෙක් මිය ගිය අතර 150 ත් 200 ත් අතර පිරිසක් තුවාල ලදහ. ආරංචිය සැලවීමත් සමග ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය එහි ළඟාවී තුවාල කරුවන් යාපනයේ රෝහලට ඇතුලත් කළ ද එහි පැවති තදබදය හා අඩුපාඩුකම් හේතුවෙන් මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගියේය. ගුවන් හමුදාව  දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර පාබල හමුදා සහ ගරිල්ලන් අතර මුහුණට මුහුණ ලා සටන් ඇරඹිණි. 

ගොඩනැගෙමින් තිබූ තත්ත්වය තුළ 1995 ඔක්තෝබර් මස 30 වැනි දින වන විට යාපනය ප්‍රදේශයේ ජීවත් වූ ලක්ෂ පහකට අධික පිරිසක් ජීවිත ආරක්ෂාව පතා යාපනය අතහැර වන්නියට යෑම දෙමළ ඉතිහාසයේ නික්මයාම ලෙස හැඳින්විය හැකිය. 

පරණ ගිවිසුමේ සඳහන් පොරොන්දු දේශය කරා යන ගමන සිහිපත් කරමින්දෝ වන්නියට ඇදී යන ජන ගඟට එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමා ද එක් වූයේ මේ ජනතාවට මග පෙන්විම සඳහා සැබෑ එඬේරෙකු අවැසි වූ හෙයිනි.

තම ජනතාවට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි පියතුමා මේ මොහොතේ ඔවුන්ගේ රැකවරණය සඳහා ඉදිරියෙන්ම සිටි චරිතය විය. ස්වභාවයෙන්ම ෆාදර් එස්.ජේ. අභියෝග වලට මුහුණ දෙන, තමන් අනුදත් මඟ තුළ යුක්තිය ඉටුකර ගැනිම සඳහා සටන් කරන මිනිසෙකු වශයෙන් අප උන්වහන්සේව හඳුනාගෙන තිබුණි. රජය හා සටන්කාමීන් අතර යම් ආකාරයක සමගි සන්ධානයක් ගොඩනැගීමට උන්වහන්සේ වන්නියේ රැඳී සිටිමින්ම මහත් දේ කළද දෙපාර්ශ්වයේම දරදඬු ප්‍රතිපත්තිය මත ඒ සියලු ප්‍රයත්නයන් නිශ්ඵල විය.

මෙම අරගල ඉතිහාසයේ 1985 ජනවාරි මස 15 වැනි දින වංකාලේදී සිදුවූ මේරි බැස්ටියන් පියතුමාගේ ඝාතනයත් සමග අප ගුරු දේවයාණන්ගේ ජිවිත ආරක්ෂාව පිලිබඳව අපට බොහෝ සැක සංකා ඇතිවූ හෙයින් අප දිගින් දිගටම උන්වහන්සේට බලකර සිටියේ ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව යන ලෙයසි. දීර්ඝ ලෙස කරන ලද කරුණු පැහැදිලි කිරිමෙන් පසුව උන්වහන්සේ 1996 දී විදේශගත විය. එතැන් සිට උන්වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාව හා එක්වූයේ ශ්‍රී ලංකාවේ ජනතාවට විනාශය හා මරණය පමණක් අතිකර දෙන එම නිරර්ථක යුද්ධය නතර කර දෙමළ ජනතාවට පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රිය විසඳුමක් ලබා දිමටය.

ඒ වන විට දශක කිපයක් පුරා විසඳුමක සේයාවක් වත් නොමැතිව ඇදී යන උතුරු  නැගෙනහිර සමාජ දේශපාලන ගැටුම ජාත්‍යන්තරකරණය වී තිබුණි.

ඒ තුළ මානව නිදහස ගරුකරන ශීලාචාර ලෝකය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක යුද්ධය හා ඒ ආශ්‍රීතව පැන නැගී ඇති විෂම ක්‍රියාවලිය පිලිබඳව දැඩි අවධානය යොමු කර තිබුණි.

ඒ තත්ත්වය තුළ සැබෑ මානව වාදියකු හා කතෝලික පූජකවරයෙකු වූ එස්.ජේ.එම්මෑනුවෙල් තම දිවැසිකරණයට සාක්ෂි දරමින් ජාත්‍යන්තර ප්‍රජාව හා එක් වූයේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සෑම ජන කොටසකටම යුක්ති සහගත පරිසරයක සාමයෙන් ජීවත් වීමට හැකියාව ලැබෙන සමාජයක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගීමට සහාය වීමටය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය තුළ යුක්ති සහගත රජ්‍යයක් ගොඩනැගිය හැකි බව විශ්වාස කළ එස්.ජේ.පියතුමා ඒ වන විට රටින් පලවා හැර සිටි දෙමළ ජන කණ්ඩායම් හා එක් වූයේ යුද්ධය නවතා සියලු ජන කණ්ඩායම් වල දේශපාලන ආර්ථික අභිප්‍රායයන් ළඟා කර ගත හැකි වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගිමටය.

නෝර්වෙජියානු සාම වැඩසටහන බිහිකිරීමේ ලා විශාල දායකත්වයක් ලබා දුන් උන්වහන්සේට මෙරට භූමියේ රැඳෙමින් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හා වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ලබා දුන් සහාය අද්වීතිය විය.

එම සාම ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කර ගැනිමට සටන්කාමීන්ට හා රජයට නොහැකි වීම මෙරට සමාජය තුළ ඇති   ආත්මාර්ථය හා පටු දේශපාලන කල්පනාකාරිත්වයට හොඳම උදාහරණය වේ.

දිවැසිවරයෙකුගේ අරගලය

ඉතිහාසය පුරාම ඒ  ඒ සමාජ තුළ දිවැසිවරු බිහි වී ඇත්තේ එම සමාජ අර්බුද හා ගැටුම් තුළ ජනතාව පිඩාවට පත් වන අවස්ථා වලදීය.

ජේසු අනුගාමී සේවක පූජක වරයකු ලෙස ෆාදර් එස්.ජේ.එම්මැනුවෙල් නම් වූ අපේ කාලයේ දිවැසි වරුයා බිහි වන්නේ ද මෙරට දෙමළ ජනතාව රටක පුරවැසියන් ලෙස තමන්ට හිමි සමාජ හා සාංස්කෘතික අනන්‍යතාවන් සහ යුක්තිය පතා කරගෙන යන අරගලය තුළදීය.

ඒ තුළ ඔහුගේ නිරන්තර භාවනාව හා යාච්ඤාව වූයේ ස්වාමිවාක් ආරාධනාවේ එන “ ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත මිහිපිට පැතිරේවා, සැම සත්ත්වයෙකුටම එදිනෙදා ආහාරය ලැබේවා ! “ යන යුක්තියේ හා සමානතාවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලාංකීය සමාජයක් බිහිවනු දැකීමෙ සිහිනයයි.

තමන්ට හිමි ස්ථානය ලබා ගනු සඳහා ලෝකය පුරාම  ිපඩිත ජනතාව කර ඇති අරගලයන් අප්‍රමාණය. වගුරුවා ඇති ඩහදිය හා රුධීරය අති මහත්ය. ඒ අර්ථයෙන් ශ්‍රි ලංකාව ගෙවීගිය වසර හැටකට වඩා වැඩි කාල පරාසයක් තුළ සමාජ සාධාරණත්වය හා යුක්තිය පතා කර ඇති අරගල සහ වගුරුවා ඇති රුධිරයෙන් තෙත් වූ ලාංකීය භූමිය මත පය ගසාගෙන ෆාදර් එස්.ජේ. ලොවට හඬගා පුකාශ කරන්නේ මෙරට ජීවත් වන සමස්ථ ජනගහනයෙන්  70% ක් පමණ ජනතාවක් අනුගමනය කරන මෛත්‍රියේ රාජ්‍යයක ස්වභාවයයි. එහි පදනම විය යුත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා  යන ගෞතම සිද්ධාර්ථයන්ගේ දැක්මේ ඇති ආදරයේ හා ප්‍රඥාවේ මානව ශිෂ්ඨාචාරයයි. 

ඒ සඳහා එස්.ජේ.සුවාමි ප්‍රකාශ කරන්නේ ලාංකික සමාජයට විවිධත්වය තුළ එක්සත් භාවයක ගමනකි. ඒ සඳහා ප්‍රධාන දහම් ධාරාව වන බුදු සසුනට හා සංඝයා වහන්සේලා සතු කාර්ය භාරය ඉතාමත් පුළුල් හා වගකිව යුතු ස්ථානයක් ගන්නා බවයි. අනෙකුත් ආගම් කණ්ඩායම් තුනම ඒ අනුව නම්‍යශීලී ප්‍රතිපත්තියක් මත දේව රාජ්‍යය හෙවත් සමානත්වයේ රාජ්‍යය ලාංකිය පොළොව මත ස්ථාපිත කිරිමට වැය විය යුතු බවයි.

තවද, උන්වහන්සේ දක්වා සිටින්නේ සිංහල සමාජය ශ්‍රී ලංකා මාතාවගේ වැඩිමහල් හා ශක්තිමත් දරුවා ලෙස තමන්ගේ බාල සහෝදර සහෝදරියන් වන දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන කණ්ඩායම් වල සුභ සිද්ධිය හා වර්ධනයත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කොට ශක්තිමත් කරමින් එක් පවුලක් ලෙස ලෝකයා ඉදිරියේ පෙනි සිටිය යුතු බවත් ය.

ඒ අතර තමන් නියෝජනය කරන ජන කණ්ඩායමට ශ්‍රි ලංකාවේ නිදහසින් පසු මුහුණ දිමට සිදුවී ඇති අභාග්‍යසම්පන්න භාවය ලෝකයා ඉදිරියේ එලි දැක්විමට ද මේ මිනිසා පසුබට නොවීය. ඒ සඳහා දිවැසිවරයකුගේ අරගලය සඳහා යොමු වීමට හේතු පාදක වූ ලංකාවේ වාර්ගික අර්බුදයට දේව ධාර්මික තේරුමක් හා විසඳුමක් සොයා ගනු සඳහා උන්වහන්සේ යොමු විය. ඒ තුළ රැඳෙමින් විවිධ වූ අධ්‍යයන හා පර්යේෂණ වාර්තාවන් මෙන්ම ඔහු විසින් ම ලියා ප්‍රකාශයට පත් කළ ‘ මාගේ ජනතාවට යෑමට ඉඩ හරින්න ‘ ( ඛැඑ පහ චැදචකැ ටද ) ඔහුගේ දේවධාර්මික දැක්ම වූයේ හුදු ආගමික ලෝකෝත්තර දැක්මකට වඩා හෞතික සමාජ දේශපාලනමය හඳුනා ගැනීමකි. ඔහුගේ දැක්මට බොහෝ දුරට බලපෑ චරිත අතර විශේෂත්වයක් ගනු ලැබූයේ  මයිකල් රුදී්‍රගු රදගරු ඩෙස්මන් ටුටු වැනි චරිත ආභාෂයන්ය. 

කතෝලික පූජකයකු ලෙස තමන් අනුදත් ධර්ම මාර්ගයට මෙන්ම උපන් බිමටත් තම මව් බසට හා සංස්කෘතියට දැඩි ලෙස ආදරය කරන එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමා නිරන්තරයෙන් ම උත්සුක වූයේ 1950 දශකයේ සිට මෙරට තුළ දෙමළ ජන කණ්ඩායමට එරෙහිව සිදු වූ වෛරීය ක්‍රියාදාමයන් නිසා තම මාතෘ භූමිය අතහැර විප්‍රවාසගත වු දෙමළ ජනයාට තමන්ගේම වූ ජාතික අනන්‍යතාවන් තුළ රැfඳාමින් තම ජීවිත ගොඩ නගා ගැනිමට  කටයුතු කරනු ලැබුයේ තම එඬේරික කැඳාවිම තුළ රැඳී සිටිමින්ය.

2010 වසරේදී ලොව පුරා අවතැන්ව දිවි ගෙවන ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේ ඉල්ලිම වූයේ ජගත් දෙමළ සංසදයේ නායකත්වය බාර ගෙන දෙමළ ජනතාවගේ විමුක්තිය හා නිදහස වෙනුවෙන් මැදිහත් වන ලෙසය.  

සාමය තිබිය යුත්තේ ඇයි ?

මානව සමාජයේ ප්‍රගතිය හා සංවර්ධනය රඳා පවතින්නේ ඒ තුළ දීර්ඝ කාලීනව පවතින සාමය මතය. ඒ සඳහා වන මූලික සිද්ධාන්තය විය යුත්තේ අදාළ සමාජයෙහි යුක්තිය ස්ථාපිත විමය. ඒ තුළ කිසිම පුද්ගලයෙකු දෙවන පන්තියේ පුරවැසියකු නොවන්නා සේම මානව සමාජ රීතිය වන සමානත්වයෙහි ලා සැලකීම මෙන්ම අන් ජන කොටස් භුක්ති විඳින නිදහස හා සම්පත් හිමිකර ගැනීමේ අයිතිය ද තමන්ගේම මව් භාෂාවෙන් භාෂණීය හා ප්‍රකාශනීය අයිතිය ද හිමි විය යුත්තේය. එසේ නොවන තාක් කල් එම සමාජය තුළ සාමය සැබෑවක් නොවන මිරිඟුවක් පමණක් වනු ඇත. 

ෆාදර් එස්.ජේ. පවසන පරිදි සාමය යනු යුද්ධය නැති විම පමණක් නොවන්නේය. එය සතුරු පාර්ශ්ව අතර සම බලයක් පවත්වා ගැනිම සඳහා වන මෙවලමක් ද නොවේ. එය සැබවින්ම යුක්තිය තුළින් ඇති වන ක්‍රියාවලියකි. එය ළඟා කරගත හැක්කේ ගෞතම බුදු රදුන් පෙන්වා වදාළ පරිදි මෛත්‍රිය පෙරදරදැරි කරගත් ධර්මිෂ්ට කමට ආදරය කරන කණ්ඩායම් වල ඇති ජ්වලිත භාවය තුළ සිදු වන කාර්ය සංසිද්ධියකි. ධර්මයෙහි සඳහන් වන ආකාරයට මනුෂ්‍යයා ස්වභාවයෙන්ම කෙලෙස් සහගත වන හෙයින් ස්ථිර සාමයක් සඳහා වන මඟ හෙළි පෙහෙලි කරගත හැකි වනුයේ සමාජයේ ජීවත් වන සියලු ජන කණ්ඩායම් අතර සහෝදරත්වය හා ඒකීයත්වය ගොඩනැගීම තුළය. එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමා ශ්‍රී ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි ජනතාව හා සහා නායකයන්  වෙත එල්ල කරන අභියෝගය වන්නේ තම ක්‍රිස්තියානි කැඳවීමට අනුකූලතාව දක්වමින් මෙරට දෙමළ හා සුළුතර ජන කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක වන අසාධාරන ක්‍රියාදාමයන්ට එරෙහි වෙමින් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කරන ලෙස බහුතර ජන කණ්ඩායමෙන් ඉල්ලා සිටින ලෙසය.

එසේම එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමාගේ නිරීක්ෂණය හා ප්‍රකාශනය වන්නේ මේ වන විටත් ශ්‍රී ලංකා සමාජය මුහුණ පා ඇති මූලික ප්‍රශ්නය ලෙස හඳුනාගත හැක්කේ මානව සමාජයක සංවර්ධනය හා ප්‍රගතිය රඳා පවතින මූලික ගුණාංගය විය යුතු වෙනස්වීම හා එම සමාජය තුළ පවතින විවිධත්වය පිළිගැනිමට මෙරට බහුතරය වන සිංහල භාෂාව කථා කරන ජන කණ්ඩායම දක්වන බිය හා පසුබෑමය. එය නිදහසින් පසු ගෙවී ගිය මුළු කාල පරාසය තුළම විද්‍යමානවූ ප්‍රධාන සාධකයකි.

එයට මූලික හේතුව ලෙස අප හඳුනා ගන්නේ දේශපාලන නායකත්වයන් තුළ ඇති දෙබිඩි කුහක පිළිවෙතය. ඊට අමතරව මෙරට දේශපාලනය හා ආගම එකට පටලවා ගැනීමක් ලෙසය. දේශපාලනය යනු සමාජයීය, ආර්ථික වැනි ද්‍රව්‍යවාදී භෞතික සංකල්පනයක් වන අතර ආගම යනු එයින් පරිබාහිර වූ ලෝකෝත්තර කාර්යයකි. ඒ තුළ රටක දේශපාලනත්වය  ආගමික බලධාරින්ට නතු වීම තුළ එය රටට කිසිදු ලෝකානුබද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරිගාමී ගමනක යෙදීම උගහටය. එයට හොඳම උදාහරණය සපයන්නේ මෙරට ප්‍රධාන ආගමික ධාරාවේ බලධාරින් ප්‍රකාශ කරන ‘ පුරාණ රජ දවසේ සිට රාජ්‍ය පාලනයට උපදෙස් ලබා ගත්තේ එම නායකත්වය මගින් නිසා වත්මන් පාලකයා කටයුතු කළ යුත්තේ ද ඒ ආකාරයට බවයි.‘ (මෙය හොඳින් දැකිය හැක්කේ මේ දිනවල මාධ්‍ය ඔස්සේ වත්මන් ජනාධිපති වරයාට මෙරට පැවිද්දන් කරන බලපෑම තුළය.) එම අපදෙස් වලට පරිබාහිරව කිසිවක් රට තුළකිරීම නොකළ යුතු බවයි. එහෙත් මහ පොලොවේ යථාර්ථය වන්නේ වෙනස් වන ගෝලීය ස්වභාවය සමග කටයුත්‍ැ කිරීමය. මෙරට ගෙවී ගිය ඉතිහාසය දෙස නිරීක්ෂණාත්මකව බැලූ විට පෙනි යන්නේ ලිබරල් ක්‍රමවේද තුළින් ජනතාවට සුවය හා සතුට ගෙනෙන සමාජ, ආර්ථික හා දේශපාලන කටයුත්තක් ඇරඹීමම උගහට කටයුත්තක් වී ඇත. යම් හෙයකින් එම බලපෑමට යටත් නොවී මහජන අභිවෘද්ධිය පතා යම් සාධනීය පියරක් ගතහොත් එම ක්‍රියාදාමයට හා එ ්සඳහා නායකත්වය දුන් පාලන ප්‍රජාතන්ත්‍රයට එරෙහිව තම ආගමික බලධාරිත්වය උපයෝගි කරගෙන ජන මතයක් ඇති කරයි. එහි අනිටු ඵලය වන්නේ අවසානයක් නැති අවාසනාවන්ත හා පීඩිත භාවයකට බහු ජනයා හුරු වී මුළු ජීවිත කාලය පුරාම දුකට පත්වී ජිවත්වීම පමණය. සැබවින්ම මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන අයෙක් වේද ඔහු / ඇය කළ යුතුව ඇත්තේ ඉතිහාසය පුරාම කළ වැරැද්ද වන වෙනස් නොවිම හා සෙසු ජන කණ්ඩායම් වෙත ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් හා ඔවුන්ගේ දේශපාලන, සමාජ හා ආර්ථික අභිල්ෂයන් මුදුන්පත් කර ගත හැකි දේහපාලනික ව්‍යවස්ථාමය වෙනස් වීමේ ක්‍රියාවලියකට රට ගෙන යෑමය.

විශේෂයෙන් මෙරට තරුණ පරපුර වෙත පැවරී ඇති කාර්යභාරය අති මහත්ය. මන්ද, ඔවුන්ගේ බහුතරය ඉහළ සාක්ෂරතාවකින් යුත් මට්ටමක සිටීමයි. ඒ අතර විවෘත ලෝකයේ හා ගනු දෙනු කරන පිරිසක් ලෙස තම රට තුළම ජීවත් වන සම අයිතිය ඉල්ලන ජන කණ්ඩායමකට එරෙහිව දේශපාලන සාංස්කෘතික අන්ධ භාවයෙන් කටයුතු කළ තම වැඩිහිටි පරම්පරා වල සාමාජිකයන් ලෙස කටයුතු නොකිරිමය. 

දැනය රට තුළ දැවෙන ප්‍රශ්නය ලෙස රටේ සමස්ථ ආර්ථික සමාජ සංවර්ධනයට මහත් සාධකයක් ලෙස පවතින ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති වාර්ගික අර්බුදය විසඳා ගැනීමය. ඒස ඳහා සීලාචාර ලෝකයා විසින් අනුගමනය කර ඇති හා කරන දේශපාලන පරිපාලන බලය බෙදා හැරීම හා ප්‍රාදේශීය ආර්ථික ස්වාධීනත්වයක් ඇති විමට කැප වීමය. එය එලෙස කර ගැනීම තවදුරටත් ප්‍රමාද වීම යනු තම වැඩිහිටියන් කළ වැරැද්දේ ප්‍රතිඵල භුක්ති විඳින ආකාරයටම තම දූ දරුවන්ට ද තවත් වසර ගණනාවක් පීඩිතව ජීවත් වීමට සිදු වීමය.

එම නිසා මෙරට සමාජය තුළ කාලාන්තරයක් පුරා වර්ධනය වී පෞද්ගලිකවම විඥානගතව ඇති, අසාධාරණ ආත්මාර්ථකාමීන් සේ විසිමට හා කටයුතු කිරීමට ඇබ්බැහි වීමෙන් මිදිය යුතුය.

අපගේ දැක්ම ඔස්සේ කල්පනා කරන විට හඳුනාගනු ලැබූ මූලික කාරණයක් වූ  ආත්මාර්ථයෙන් මිදීමට මෙරට දරුවන් පුහුණු කළ යුතුය. එ ්සඳහා කටයුතු කළ යුත්තේ අසීරු වූවත් කල් නොයවා කරගත යුතු වටහා ගැනීමේ ක්‍රියාවලියට දරුවන් යොමු කිරිමය.

මෙරට ජිවත් වන බහුතරයේ දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හෝ සිංහල ජනතාවට අවැසි නොවූ වරප්‍රසාද ලත් සුළුතරයක අවශ්‍යතාව මත පවත්වාගෙන ආ සාපලත් යුද්ධය අවසන්ව වසර එකොළහක් ගත වෙද්දී වත් මූලික ප්‍රශ්තුත ප්‍රශ්නයට විසඳුමක් නොමැතිව තවමත් අපි සමාජයක් ලෙස කල් ගත කරමින් සිටිමු.

1958 දරුවකු ලෙස අත්දුටු ඒ අභාග්‍යවත් සිද්ධින් වල පීඩනය නිසාම අප යොමු වූයේ මාගේ මව්බිම තුළ සැබෑ පරිවර්තනයක් සිදුවිය යුතුය යන සිතුවිල්ලටය. ඒ අනුව මෙරට ජාතික ප්‍රශ්නය බවට පත්වී ඇති වාර්ගික ගැටළුව හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ යුද්ධයත්, ජාතීන් අතර දුරස්ථ බව හා සැකය දුරු කළ හැක්කේ කෙසේද යන අධ්‍යයනයක් ඔස්සේ මෙම අදහස ඔබ වෙත යොමු කළෙමි.

1958 න් ඇරඹි ජාතිවාදය විසින් ඇතිකළ තිස් වසරක කාලකණ්නි යුද්ධය විසින් මෙරට ජනතාවගේ අභ්‍යන්තර ජිවිතයට වූ හානිය වටහා ගැනීමත් එමගින් මෙරට සමාජය සැබෑ පරිවර්ථනයකට ලක් කොට ලාංකික අධ්‍යාත්මය සුවපත් කිරිම අරමුණු කොට ගත් ප්‍රබුද්ධ ආගමික නායකයන්, ගුරුවරුන් හා සමාජ ක්‍රියාධරයන් ඒකරාශි විය යුතුය. එමගින් තම සමාජ හා වෘත්තික මෙහෙවර තුළින් ජාතියේ හෙට දවස ගොඩනැගෙනා බව පමණක් සනිටුහන් කරමු. ඵ් සදහා තල් රුප්පාවේ මුනිවරයා ලෙස හැදින්විය හැකි ආචාර්ය එස්.ජේ.එම්මෑනුවෙල් පියතුමා අනුගාමි වීමය



Post a Comment

0 Comments