to-add

ජනාධිපති ආණ්ඩුක්‍රමයක් විනා විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ



- එම්. ඕ. ඒ. ද සොයිසා -


සම්පාදනය කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආණ්ඩුවේ ස්වභාවය කුමක් විය යුතුද යන කරුණ පිළිබඳව විද්වතුන් කිහිප දෙනෙක් පසුගිය දිනක කරන ලද සාකච්ඡාවකදී 'විධායක ජනාධිපති' යන පදය නිරන්තරයෙන්ම සඳහන් කරන ආකාරය දුටුවෙමි. මෙම පදය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් ජනාධිපති තනතුර සමග භාවිතයට පැමිණි අතර මේ වනවිට පුරා අවුරුදු 43ට ආසන්න කාලයක් මුළුල්ලේ අඛණ්ඩවම භාවිත වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කිවයුත්තේ 'විධායක ජනාධිපති' නමින් හඳුන්වන ආණ්ඩුක්‍රම වර්ගයක් මේ ලෝකයේ නොමැති බවය. එබැවින් එම යෙදුම සම්පූර්ණයෙන්ම වැරදි යෙදුමක් වේ. මෙම වැරදි යෙදුම හේතුවෙන් වැඩියෙන්ම අපහසුතාවට පත්ව තිබෙන්නේ මේ රටේ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරුන්ය.

විධායක බලතල ක්‍රියාවට නංවන බල ව්‍යුහය සංවිධානය කර තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම වර්ග කිරීම දේශපාලන විද්‍යාව තුළ ආණ්ඩුක්‍රම වර්ග කිරීම සඳහා භාවිතයට ගැණෙන එක් වර්ගීකරණ ක්‍රමයක් වේ. මේ අනුව ආණ්ඩුක්‍රම පහත සඳහන් ආකාරයට වර්ග කරනු ලැබේ.

  1. ජනාධිපති ආණ්ඩුක්‍රම - ජනතාව විසින් තෝරා පත් කරන ජනාධිපතිවරයෙකු විසින් විධායක බලතල ක්‍රියාවට නංවයි.

  2. කැබිනට් හෙවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම - ජනතාව විසින් ව්‍යවස්ථාදායකයට පත් කරන නියෝජිතයන් අතුරින් තෝරාගත් අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් විසින්  විධායක බලතල ක්‍රියාවට නංවයි.

  3. මිශ්‍ර විධායකය - විධායකය කොටස් දෙකකින් යුක්තය. ජනතාව විසින් තෝරාපත්  කරන ජනාධිපතිවරයයෙකු සහ ව්‍යවස්ථාදායකයේ මංත්‍රීවරුන් අතුරින් තෝරා පත් කරන අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් විසින් විධායක බලතල ක්‍රියාවට නංවයි.

   4. ඒකතන්ත්‍ර විධායකය හෙවත් ඒකාධිපති පාලන ක්‍රම - විධායකයට ජනතා පදනමක් නැත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරටට හඳුන්වා දුන්නේ මිශ්‍ර විධායකයක් සහිත ආණ්ඩුක්‍රමයක්ය. නමුත් විධායකයේ දෙවන කොටස වන අගමැති සහ කැබිනට් මණ්ඩලය  ජනාධිපතිවරයාගේ විධායක කාර්යන් ක්‍රියාවට  නැංවීම පිණිස පිහිටවූ සහායක ආයතනයක් විනා ජනාධිපතිවරයාට සමානව ක්‍රියාත්මක වන සමාන බල ආයතනයක් නොවේ. ආණ්ඩුක්‍රමය පුරාම විසිරී පවතින්නේ ජනාධිපතිවරයාගේ බල ආධිපතිත්වයයි.

මේ අනුව 1978 ව්‍යවස්ථාව මගින් මිශ්‍ර විධායකය යන සැරසිල්ලට මුවා වී ගොඩනගා තිබෙන්නේ ඉතාමත්ම ප්‍රබල ජනාධිපති විධායකයක් මුල්කර ගත් ආණ්ඩුක්‍රමයක්ය. එය ජනාධිපති ආණ්ඩුක්‍රමයක් විනා විධායක ජනාධිපති ක්‍රමයක් නොවේ. ඒ නමින් හඳුන්වන ආණ්ඩුක්‍රම මේ ලෝකයේ නැත. මේ වැරදි ව්‍යවහාරය දැන්වත් නිවැරැදි කරගත යුතුය.


(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසාගේ මුහුණු පොතින් උපුටාගත්තකි)


Post a Comment

0 Comments