to-add

ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව ඇමතිය යුත්තේ ඇයි?

මෙය කතානායකවරයා වසින් නොකළ යුතු ඉල්ලීමක් බව අපේ හැඟීමයි. එසේම අගමැති ඛාන්ගේ කතාව අවලංගු කරන ලෙස  කතානායකවරයා විසින් ඉදිරිපත් කරන හේතු අබ්බගාත ඒවාය. 

කතුවැකිය 

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පකිස්තානයේ  අග්‍රාමාත්‍යය ධූරයට පත්වීමෙන් පසු ඔහු සිදුකරන ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන මෙය දෙරටේ රාජතාන්ත්‍රික සහයෝගීත්වය සඳහා ඉතාම වැදගත් වේ.  අගමැතිවරයාගේ මෙම නිල සංචාරය අතර තුර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීම සඳහා සැලසුම් කර තිබුණි. සාමන්‍යයෙන් රාජ්‍යය නායකයකු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ඔහු හෝ ඇය මෙරට පාර්ලිමේන්තුව ඇමතීම රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය වේ.

2015 මාර්තු මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතනු ලැබීය. එසේම මීට පෙර මෙරට සංචාර කළ හිටපු පකිස්තාන අග්‍රාමාත්‍යයවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් මොහොමඩ් අයුබ් ඛාන් 1963 දී සහ  සුල්ෆිකාර් අලිභූතෝ 1975 දී මෙරට පාර්ලිමේන්තුව අමතනු ලැබීය. එම සම්ප්‍රදායේ කොටසක් ලෙස අගමැති ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණි.

නමුත් පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරයා හදිසියේම විදේශ කටයුතු අමාත්‍යංශයට ලිපියක් ලියමින්, අගමැති ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව අවලංගු කරන ලෙස ඉල්ලා ඇත. කතානායකවරයාගේ මෙම ඉල්ලීම අසාමාන්‍යය සහ අරුමපුදුම එකකි.  ඇතැම් ඉන්දීය ජනමාධ්‍යය කතානායකවරයාගේ මෙම අරුමපුදුම ඉල්ලීම  දැකීමෙන් අමන්දානන්දයට පත් වී ඇති අයුරු ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කොට ඇති වාර්තා දැකීමෙන් පෙනේ.  

කතානායකවරයා තම ඉල්ලීම සඳහා හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ  රට තුළ ව්‍යාප්තවී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ගෙන්වන පිරිස සීමිත වීමයි.  මෙය කතානායකවරයා වසින් නොකළ යුතු ඉල්ලීමක්   බව අපේ හැඟීමයි. එසේම අගමැති ඛාන්ගේ කතාව අවලංගු කරන ලෙස  කතානායකවරයා විසින් ඉදිරිපත් කරන හේතු අබ්බගාත ඒවාය.  කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඉටුකිරීම සඳහා එහි සේවක සංඛ්‍යාවෙන් හරි අඩක් ගෙන්වීම සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සුදුසු ලෙස අසුන් පිළියෙළ කිරීමට නොහැකි වීම කතානායකවරයා ඉදිරිපත් කරන හේතු වේ. මෙතරම් තාක්ෂනය දියුණු වී ඇති ලෝකයක, මෙරට කැබිනට් රැස්වීම් පවා සූම් තාක්ෂනය ඔස්සේ පවත්වන අවස්ථාවක අගමැති ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව සඳහා සුදුසු ක්‍රමවේදයක් සොයා ගැනීමට කතානායකවරයාට නොහැකිය. මෙය අතිශය අවාසනාවන්ත තත්වයකි. 

පක්ස්තානය යනු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මිතුරෙකු පමණක් නොව බොහෝ දෙනෙකු මෙරටට සහයෝගය නොදක්වන විට තම දෑත් දිගුකොට ශ්‍රී ලංකාව සමග සිටගත් රාජ්‍යයකි. විශේෂයෙන් විවිධ අවලාද නගමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වී මෙරට ජනජීවිතය අස්ථාවර කිරීමට උත්සහ කළ බාහිර බලවේග වලට එරෙහිව කටයුතු කිරීම සඳහා අවංකව සහයෝගය ලබාදුන් රාජ්‍යයකි. එපමණක් නොව, දශක කිහිපයකට පෙර මෙරට අහාර හිඟයක් ඇති වූ අවස්ථාවේ මෙරට මිනිසුන් සාගින්නෙන් මුදා ගැනීමට තම අවංක කැපවීම සිදුකළ රාජ්‍යයකි.  මෙවැනි යහපත් මිතුරු රාජ්‍යයක නායකයෙකුට මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්තාව ලබාදීම සිදුකළ යුතු කාරණයකි. එවැනි මිතුරු රාජ්‍යයක නායකයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට වැදගත් අදහස් රාශියක් ඇතිබව අපේ විශ්වාසයයි. එසේම ඔහුට ඒ සඳහා අවස්තාව ලබා දීම ශ්‍රී ලංකාවේ යුතුකම බව අපේ හැඟීමයි. මන්ද, එය මිතුරු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තම සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සහ නොබැඳී ජාතික මූලධර්ම ආරක්ෂා කරන බව ලෝකය හමුවේ ඔප්පු කිරීමකි.  අවංක මිතුරන්ගේ සිත් රිදවීමෙන් මිතුරන් ලෙස වෙස්වලාගෙන සිටින සතුරන් සතුටු කිරීමට හැකිය. නමුත් සැබෑ මිතුරෙකුගේ සිත රිදවීමෙන් සිදුවන දිගුකාලීන හානිය අතිශය බරපතළය. 

Post a Comment

0 Comments