to-add

''මෙහෙම ගියොත් බුද්ධත්වයටත් උපාධි දෙයි‘‘ - එම්. ඕ. ඒ. ද සොයිසා



ග්‍රීක දේශපාලන දාර්ශනික ප්ලෙටෝ විසින් දේශපාලන  විද්‍යාව හැඳින්වූයේ සමාජ විද්‍යාවන් අතරින් උසස්ම සමාජ විද්‍යාව (Master Science) ලෙසය. එය ප්‍රගුණ කළ හැක්කේ බුද්ධියෙන් අගතැන්පත් දාර්ශනිකයින්ට පමණක් බව ප්ලේටෝගේ විශ්වාසය විය. 

ප්ලේටෝ ඉතාම දැඩිව විශ්වාස කළ දෙයක් වූයේ රාජ්‍යය පාලනයට සහභාගි විය යුත්තේ දේශපාලන විද්‍යාව පිලිබඳ දැනුමෙන් අගතැන්පත් පුද්ගලයින් පමණක් බවය. දේශපාලන විද්‍යාව ප්‍රගුණ කරවීම සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන සැලැස්ම අවුරුදු 35ක් පුරා දිවයන එකක් විය. ප්ලේටෝ කියා සිටියේ මෙම අධ්‍යාපන සැලැස්මේ අන්තර්ගත සියලුම විෂයන් විශිෂ්ඨ ලෙස හදාරා අවසාන පරීක්ෂණයෙන් උපරිම දක්ෂතා පෙන්වන ශිෂ්‍යයා පාලකයා බවට පත් කළ යුතු බවය. එම පාලකයා ප්ලේටෝ හැඳින්වූයේ 'දාර්ශනික පාලකයා' (Philosopher King) ලෙසය. 

ප්ලේටෝ දාර්ශනික පාලකයා පිලිබඳ සිද්ධාන්තයෙන් පෙන්වා දෙන්නේ රාජ්‍ය පාලනය බුද්ධිමතුන්ගේ කාර්යක් වන බවත් එය නූගත් මොට්ට ගොබ්බයන්ට කළහැකි දෙයක් නොවන බවත්ය. මොට්ටයින් රටක් පාලනය කිරීමට ගියහොත් ඒ රට විනාශය කරා යාම වැලැක්විය නොහැකි බව ප්ලේටෝගේ විශ්වාසය විය.

මෙයින් පෙන්නුම් කරන්නේ දේශපාලන විද්‍යාව කොතරම් සංකීර්ණ සහ ගැඹුරු විෂයක් වනවාද යන්නය. එය කිරීම මෙන්ම දැන ඉගැනීමද කිසිසේත්ම ලෙහෙසි හා පහසු දෙයක් නොවේ. දැනට ලෝකයේ ක්‍රියාත්මක වන උපාධි පිරිනැමීමේ ක්‍රමය අනුව යම් විෂයක් අධ්‍යයන කිරීමෙන් අගතැන්පත්  විශිෂ්ට බුද්ධිමතුන්ට පිරිනමන ඉහළම උපාධිය 'දර්ශන ශූරී' (Doctor of Science) වේ. දේශපාලන විද්‍යාව විෂය පිලිබඳව මම දන්නා තරමින් ලංකාව තුළ එම විශිෂ්ට උපාධිය තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කිරීම මගින් ලබාගෙන ඇත්තේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම බුද්ධිමතුන් දෙදෙනෙක් වූ ආචාර්ය එන්. එම්. පෙරේරා සහ මහාචාර්ය ඒ. ජේ. විල්සන් යන දෙදෙනා විසින් පමණි. 

මෙවැනි උත්තරීතර විෂයක එවැනි උත්තරීතර උපාධියකට සමාන වන ආකාරයේ 'දේශපාලන විද්‍යාව ශිරෝමණී' නමින් හැඳින්වෙන ගෞරවනීය උපාධියක් මොට්ට හාමුදුරුවරුන්  කිහිප දෙනෙක් සහ ඒ හා සමානම මොට්ට ගිහියන් කිහිප දෙනෙක් අටවා ගත් සංවිධානයක් විසින් විශ්වවිද්‍යාලයක හතරමායිමේවත් නොගිය දේශපාලනඥයෙකුට ප්‍රදානය කර තිබෙන ආකාරය සමාජ මාධ්‍යය තුලින් දුටුවෙමි. 

හාමුදුරුවරු නටන මෙම නාඩගම් වලින් රටේ අධ්‍යාපනයට හා එහි උත්තරීතරභාවයට හා ගෞරවනීයභාවයට සිදුවන හානිය කොතරම්ද  යන්න කිවහැකි නොවේ. මෙහෙම ගියොත් මිනිසුන් බුද්ධත්වයට පත් වූ බුදුවරුන් ලෙස හඳුන්වන උපාධි පිරිනැමීමට වුවද  මොට්ට හාමුදුරුවරු ක්‍රියාකරනු ඇත. මෝඩයින් රට පාලනය කිරීමට පමණක් නොව මහණකමටද නුසුදුසුය යනුවෙන් ප්ලේටෝගේ න්‍යාය සංශෝධනය කිරීමට කාලය පැමිණ තිබේ.



(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසාගේ මුහුණු පොතින් උපුටාගත්තකි)

Post a Comment

0 Comments