to-add

සතියකට වරක් පන්සල් යාම - මනෝරාජික උපකල්පනයක්



- එම්. ඕ. ඒ. ද සොයිසා - 


කිසිම දිනක ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි මනෝරාජික පොරොන්දු දෙමින් ජනතාව  ඇවිස්සීම දේශපාලන ක්‍රීඩාවේදී  දේශපාලනඥයින් විසින් නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙන දේශපාලන ප්‍රයෝගයක් වේ. මෙසේ කරන්නේ එක්කෝ ජනතාව අතර තමන්ගේ ජනප්‍රියතාව ආරක්ෂා කොට පවත්වා  ගෙනයාම සඳහාය. නැතිනම් ජනතාවගේ අවධානය වෙනතකට යොමුකොට පවතින ප්‍රශ්නයක් යටපත් කිරීම සඳහාය. එසේත් නොමැති නම් ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින් ජනතාව අතර අප්‍රසාදයට ලක් කිරීම සඳහාය.

මෙම ප්‍රයෝගයේ අනෙක් ලක්ෂණය වන්නේ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ විට එසේ කිරීමට නොහැකි වූයේ ඒ සඳහා තමන්ට අවශ්‍ය සහාය නොලැබුන බව ප්‍රකාශ කරමින් අනුන්ට වරද පවරා වගකීමෙන් පිටපැන යාමට දේශපාලනඥයින් කටයුතු කිරීමය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සතියකට වරක් පන්සල් යාම අනිවාර්ය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉහත දැක්වූ ආකාර කිසිම දිනක ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කළ නොහැකි මනෝරාජික උපකල්පනයක් වේ. හේතුව ආගමක් අදහනවාද නැද්ද යන්න මිනිසුන්ගේ අතිශයින්ම පෞද්ගලික දෙයක් වීමත් එය කරන හෝ නොකරන ලෙස බල කිරීමට රාජ්‍යයට කිසිදු අයිතියක් නොමැති වීමත්ය. මිනිසුන්ට එක්කෝ ආගමක් ඇදහිය හැක. නැතිනම් නොඅදහා සිටිය හැක. එසේත් නැතිනම් අදහන ආගම වෙනස් කොට තමන් කැමති වෙනත් ආගමක් වැළඳ ගත හැක. මේ කිසිම දෙයකට රාජ්‍යයේ අනුමැතිය හෝ කැමැත්ත අවශ්‍ය නොවේ.

 රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පන්සල් හෝ පල්ලි සතියකට වරක් නොව සෑම දිනකම ගියත් එය ඔවුන්ගේ පෞද්ගලික කාර්යක් විනා රාජ්‍යයේ පොදු කාර්යක් නොවේ. අනෙක් අතට ඔවුන්ගේ පන්සල් හා පල්ලි යාම ජනතාව විසින්ද අනුගමනය කළ යුතුයැයි නියම කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොමැත. එසේ නියම කිරීමට රාජ්‍යයක් ක්‍රියා කරනවා නම් එම රාජ්‍යය අන්තම අන්ත ආගමිකවාදී ආඥාදායක රාජ්‍යයක් විනා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවේ.

එබැවින් සතියකට වරක් පන්සල් යාමේ යෝජනාව මනෝරාජික උපකල්පනකින් ඈතට යාමේ කිසිදු ඉඩකඩක් නොමැත. නමුත් මේ රටේ වාසය කරන 75%ක් තරම් වූ සිංහල බෞද්ධ මිනිසුන් මෝහණයට පත්කොට ඔවුන් අතර වීරයෙක් වීමට එම යෝජනාව අගමැතිවරයාට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙයට අමතරව සීනි ප්‍රශ්නය, පාස්කු ප්‍රශ්නය, බටහිර ජැටියේ ප්‍රශ්නය, පරිසර විනාශය වැනි ප්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට යොමු කරවීම සඳහාද පන්සල් යාම ආණ්ඩුවට ප්‍රයෝජනවත් වේ.


(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසාගේ මුහුණු පොතින් උපුටාගත්තකි)

Post a Comment

0 Comments